ශ්‍රියානි විජේසිංහ –
ඖෂධ නොමැතිවීමෙන් මහමෝදර රෝහලේ ගර්භනී මව්වරුන්ගේ සහ දරුවන්‌ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි රෝහල් ආංචි මාර්ග සඳහන් කරයි
දරු ප්‍රසූතියෙන් පසුව ඇතැම් මව්වරුන්ට සිදුවන අධික රුධිර වහනය නතර කිරීම සඳහා ලබා දෙන ඖෂධය රෝහල් තුළ නොමැති වීම හේතුවෙන් අධික රුධිරවහනයන් සිදුවන මව්වරුන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය
දරුප්‍රසූතියෙන් පසුව සිදුවන අධික රුධිරවහනය නතර කිරීමට වෛද්‍යවරුන්ට සිදුව ඇත්තේ ගර්භෂය අතින් තද කර රුධිර වහනය නතර වෙන තෙක් සිටීමට යැයි ද ඔහු පැවසීය.
දිනකට රෝහල තුළ සාමාන්‍ය දරු ප්‍රසූති 50ක් පමණ සිදුවන අතර සිසේරියන් සැත්කම් 10ක් පමණ සිදුවෙන බවත් මෙම දරු ප්‍රසූත සිදුකරන මව්වරුන්ගෙන් රුධිර වහනයක් කොයි මොහොතක සිදුවන්නේද යන්න කිවනොහැකි බව එම ප්‍රකාශකයා අනාවරණය කළේය.
මේ අතර කුඩාදරුවන්ට ඇතිවන විවිධ රෝග තත්තවයන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ගණනාවක්ම රෝහල තුළ නොමැති බැවින් දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට අනෙකුත් රෝහල්වලින් සහ පෞද්ගලික රෝහල්වලින් ඉල්ලා ගැනීමට සිදුව ඇතැයිද වාර්තාවේ.
මීට අමතරව රෝහල සතුව පවතින ශල්‍යාගාර දෙකෙන් එක් ශල්‍යාගාරයක වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් වෛද්‍යවරුන්ට විදුලිපංකාව ක්‍රියාත්මක කර සැත්කම් කිරීමට සිදුව ඇතැයි ද පැවසේ.
මෙය ඉතා අවදානම් තත්ත්වයක් බවත් පෙන්වා දෙන එම ප්‍රකාශකයා මෙය පිලිසකර කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රතිපාදන නොමැති බවද දන්වා ඇතැයි සදහන් වේ.







