එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා ගෙන නව නායකයකු පත්කර ගැනීමටද හා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් අතර ඡන්දයක් පැවැත්විය යුතු බව එම පක්ෂයේ ජේෂ්ඨ වූ පිරිසක් නායක රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇත.
නායකත්ව අර්බුදය නිසා ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී පක්ෂයේ දී පක්ෂයේ ප්‍රබලයින් රැසක් පක්ෂය හැර ගොස් ඇති බව පෙන්වා දී තිබෙන ජේෂ්ඨ යෝ මෙවරද එම විනාශයට ඉඩ නොතබා නායකත්වයට ඉදිරිපත් වන අය අතර ඡන්දයක් පවත්වා හෝ අර්බුදය කඩිනමින් විසඳන්න ලෙස ඔවුහු වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.
ජේෂ්ඨයන්ගේ යෝජනාව පිළිගෙන ඇති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පසුගිය කාලයේදී නම් නවයක් යෝජනා වී තිබූ අතර මේ වන විට එය තිදෙනෙකු අතර සටනක් බවට පත්ව තිබේ.
රුවන් විජේවර්ධන, කරූ ජයසූරිය සහ වජිර අබේවර්ධන යන මහත්වරු අතර නායකත්ව සටන මේ වන විට ඇති වී තිබෙන අතර මීට ඉහතදී නායකත්වය වෙනුවෙන් සටන් කළ අයද කණ්ඩායම් වලට බෙදී ඉහත තිදෙනාට උදව් කරමින් සිටී.
මේ අනුව රුවන් විජේවර්ධන මහතා නායකත්වයට පත් කරගැනීම සඳහා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ, ආශූ මාරසිංහ සන්දිත් සමරසිංහ, සාගල රත්නායක, සමන් රත්නප්‍රිය ඇතුළු කණ්ඩායමකුත් කරු ජයසූරිය මහතා නායකත්වයට පත්කර ගැනීම සඳහා රවී කරුණානයක, ලක්ෂ්මන් විජේමාන්න, දයා ගමගේ, පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ප්රමුඛ කණ්ඩායමක් ද වජිර අබේවර්ධන මහතා නායකයා වියයුතු බවට ද පාලිත තෙවරප්පෙරුම ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරන පිරිසක් ද එක්ව කටයුතු කරති.
නායකත්වය සඳහා ඡන්දයක් පැවැත්වීමට ඊට සාර්ථකව මුහුණ දී ජයග්‍රහණය කිරීම සඳහා ඉහත තිදෙනා මේවනවිට ඉතා රහසිගතව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් දැනුවත් කරමින් ඔවුන්ව විවිධ වූ යෝජනා ඉදිරිපත් කරමින් සිය ඡන්ද ව්‍යාපාරය දියත් කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව නායකත්වය සඳහා ඡන්දයක් පවත්වනවා නම් එය රහස් ඡන්දයක් ද එසේත් නැත්නම් විවෘත ඡන්දයක් ද කියා ඡන්දය විමසන දින කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී තීරණය කරනු ඇත.