ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 11කට බලපෑ තද සුළං, නාය යෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52ක පවුල් 15,404ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2022 ඔක්තෝබර් 16 දින නිකුත් කළ වාර්තාවේ පාදක කරගනිමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ජීවිත හානි 03ක් වාර්තා වන අතර පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. පූර්ණ නිවාස හානි 05ක් ද, අර්ධ නිවාස හානි 193ක් ද සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන් කර ඇත.
අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් පවුල් 439ක පුද්ගලයන් 1927 දෙනෙක් දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 21ක රඳවා සිටින බව එහි සඳහන් වේ.
මෙම තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව සහන කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.
මෙහිදී සියලු ප්‍රාදේශීය ලේකම්වරු සහ රේඛීය අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් කටයුතු කරන ලෙසත්, සහන වැඩපිළිවෙළේදී රාජ්‍ය නිලධාරින්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.







