-
මේ වියපත් වී කල් ඉකුත් වූ ජනාධිපති තරුණ නායකත්වයක් මතුවෙනවට බයයි…. පුනරුත්ථාපන පනත කියෙව්වාම හදවත නතර වුණා වගේ දැනුණා. හේතුව මේ පනත හරහා පිහිටුවන පුනරුත්ථාපන කාර්යාංශය මඟින් පුද්ගලයන් සමූහ වශයෙන් රඳවා පුනරුත්ථාපන කඳවුරු පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා…
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 43ක් මුළුල්ලේ අඳුරු කාමරවල සිර කොට වධ හිංසා පමුණුවන බවත් රජයේ මීළඟ අරමුණ එලෙස රැඳවුම් නියෝග මත රඳවා ගන්නා රජයට විරුද්ධව කටයුතු කරන්නන්ට වධ හිංසා පැමිණි වීම පුනරුත්ථාපනය නමින් නීතිගත කිරීම බවත් වානිජ කර්මාන්ත කම්කරු සංගමයේ සභාපතිනි නීතීඥ ස්වස්තිකා අරුලිංගම් පසුගියදා පැවසීය.

මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ අදහස් පළ කළ නීතිඥ අරුලිංගම් වසන්ත මුදලිගේ සිරිධම්ම හිමියන් සහ හෂාන් යන තරුණයන් අරගලය ට සම්බන්ධ වීම හේතුවෙන් මෙලෙස මානසික වධ හිංසනයටද ලක් වෙමින් පවතින බව ප්‍රකාශ කළාය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ නීතීඥ ස්වස්තිකා අරුලිංගම්
“ අරගලය සම්පූර්ණයෙන්ම සිදුකළේ මෙහෙයවුයේ මේ රටේ තරුණ පිරිස. ඔවුන් ඉතා එහි ක්‍රියාකාරීව කටයුතු කළා. අද ඉන්න ජනාධිපති පත් වුණේ මේ අරගලය මතින්.
මේ වියපත් ජනාධිපති අවුරුදු 40කට වඩා දේශපාලනයේ ඉන්න කෙනෙක්. ඔහු මොකද කළේ. පැමිණි විගස අරගලය කළ තරුණයන් මර්දනය කිරීමට කටයුතු කළා. හේතුව නව නායකත්ව බිහි වේ යයි බිය.
මේ අරගලකරුවන් අපරාධ නීතිය මගින් අත්අඩංගුවට ගන්නවා. ඇයි මේ වියපත් කල් ඉකුත් වූ ජනාධිපතිවරයකු මේ ත්‍රත්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරන්නේ. එය විශාල වශයෙන් කලින් දමිළ තරුණයන් වෙනුවෙන් පාවිච්චි කළා. පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට ඒ අනුව ක්‍රියා කළා. නමුත් දැන් මේ පනත භාවිත කරන්නේ අරගලයට සම්බන්ධ වුණු තරුණයන් මර්දනයට.
අරගලය තුළ සිටි වසන්තට සිරිධම්ම හිමින්ට සහ හෂාන්ට එරහිව ත්‍රස්තවාදී චෝදනා කළා. මේ පනතේ තිබෙන විශේෂත්වයක් තමයි කිසිම සාක්ෂියක් නැතිව පවා ආරක්ෂක ඇමතිවරයාගේ නිර්දේශයෙන් පුද්ගලයකු රඳවාගෙන සිටිය හැකියි. අද මේ ආකාරයට වසන්තලා රඳවාගෙන ප්‍රශ්න කරමින් ප්‍රකාශ ගනිමින් මානසික වධහිංසනයට ලක් කරමින් සිටිනවා.
මෙහෙම කරන රජය අද ප්‍රසිද්ධියේ ලෝකයට කියනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න යනවා කියල. ඒ වෙනුවට ජාතික ආරක්ෂාව වෙනුවෙන් නව පනතක් ගේනවා කියල.
මේ අතරේ තවත් පනතක් ගේන්න යනවා අරගල කරන තරුණයන් පුනරුත්ථාපනයට. මෙම මේ පනත කියෙව්වාම හදවත නතර වුණා වගේ දැනුණා. හේතුව මේ පනත හරහා පිහිටුවන පුනරුත්ථාපන කාර්යාංශය මඟින් පුද්ගලයන් සමූහ වශයෙන් රැඳවීමේ පුනරුත්ථාපන කඳවුරු පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
එයින් පෙනෙන්නේ රජයට විරුද්ධව මත දරන තරුණයන් සමූහ වශයෙන් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට දමා ඔවුන් ට වධ හිසා පැමිණවීම. එයින් ඔවුන්ගේ සැලසුම එය තවදුරටත් නීතිගත කිරීමයි. මේ පිළිබඳව රටේ ජනතාව අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. “ යයි ද ඇය තවදුරටත් පැවසුවාය.







