කීර්ති ප්‍රනාන්දු –
රුපියල් දෙකෝටි හතලිස් නව ලක්ෂ පහලොස් දහසක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සිය ගමන් මල්ලේ බහා ගෙන , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි භික්ෂූන්වහන්සේ නමක් ඊයේ (22) සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්ත රේගු පරිශ්‍රයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය , සිරිපුර , බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩවාසය කරන 58 හැවිරිදි හිමි නමකි.
මෙම භික්ෂූන්වහන්සේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් ඊයේ (22) සවස 04.40 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ප්‍රශ්න කිරීමේදී හිමි නම රේගු නිලධාරීන්ට පවසා ඇත්තේ මෙම ගුවන් ගමන් අතරතුර හඳුනා ගත් පුද්ගලයෙකු මෙම ස්වර්ණාභරණ තොගය ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන ගොස් දෙන්නැයි තමන්ට භාර දුන් බවය. .
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා ද සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු 44 හැවිරිදි වියේ පසුවන කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
කිලෝ ග්රැම් 01 යි ග්රැම් 993 ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය තුළ මාළ , වළලු , මුදු , කරාබු තිබූ බව රේගුව පවසයි .
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී.ඩබ්ලිව්.පී.විජේවර්ධන විසින් පවත්වනු ලැබීය.
එහිදී මෙම සිදුවීමට සම්බන්ධ භික්ෂූන්වහන්සේ නිදහස් කළ අතර , මෙසේ නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට නියෝග කෙරිනි.
කොළඹ , වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 05 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .







