මහනුවර ඓහාසික ශ්‍රී දළදා මන්දිරය, මල්වතු අස්ගිරි විහාරස්ථාන ශ්‍රී ලංකාවේ දෙවෙනි ජාතික රෝහල, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, කෘෂිකර්ම තාක්ෂණ අංශ ඇතුළු සුවිශේෂී ස්ථාන ගණනාවක් සහිත මහනුවර ප්‍රදේශය තුළ හදිසි තත්ත්වයක දී සේවයේ යෙදවීම සඳහා මහනුවර ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සතුව සිටින්නේ සේවකයින් 27 දෙනෙක් පමණක් බවත් දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පිරිදි පවත්වා ගැනීම සඳහා පුහුණු සේවකයින් 65 දෙනෙක් අවශ්‍ය බවත් වාර්තා වේ.
මේ අඩුව පිරවීම සඳහා නව බඳවා ගැනීම්වලට සම්මුඛ පරීක්ෂණ මගින් පිරිසක් තෝරාගෙන තිබුණද රාජ්‍ය සේවයට බඳවා ගැනීම අත්හිටුවමින් රජය නිකුත් කර තිබෙන චක්රලේඛණය හේතුවෙන් ඔවුන් බඳවා ගැනීමට නොහැකි වී තිබෙන බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක පැවසීය.
මේ හේතුවෙන් ඉදිරියේදී හදිසි ගිනි නිවීම් සේවා පවත්වා ගැනීමට දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙන බවද ඔහු කීවේය.
පුහුණු සේවකයින් විශ්‍රාම යෑමේදී එම අඩුව පිරවීමට නව සේවකයින් බඳවා නොගැනීම නිසා අදාළ ගැටලුව මතුව තිබෙන බව මහනුවර නගර සභාව පැවසුවේය.
මහනුවර මහ නගර සභා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඒකකය මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටා ඇති අතර එහි අනු ඒකකයක් මහනුවර මහයියාවේ ස්ථාපිත කර ඇත.
ඊට අමතරව තවත් ඒකකයක් මහනුවර නගර මධ්‍යයේ ඩී.එස්. සේනානායක පුස්තකාලයට යාබදව පවතී.
මෙම ඒකක සියල්ල මගින් ලබාදෙන සේවා ආවරණය කිරීමට අවම වශයෙන් 65 දෙනෙකු ගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයක් අවශ්‍යය බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.







