සම්පූර්ණ රුධිර ගණනය හෙවත් රුධිරයේ පවතින සංඝටකවල තත්ත්වයන් පරීක්ෂාකර බලන පරීක්ෂණය FBC ලෙසද හැඳින්වේ, එය පුද්ගලයෙකුගේ රුධිරයේ සෛල පිළිබඳ තොරතුරු සපයන වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සමූහයකි.
මෙමගින් පුද්ගලයෙකුගේ රෝග තත්ත්වයන්හි මූලාරම්භය හෝ පවතින තත්වය නිශ්චය කර ගැනීමට පහසුව ඇති වේ. රෝග ලක්ෂණ සහිතව වෛද්‍යවරයකු වෙත යන සෑම පුද්ගලයෙකුට ම පාහේ මෙම පරීක්ෂණය සඳහා වෛද්‍ය නිර්දේශය ලැබෙනු ඇත.
මේ වන විට දිවයින පුරා සෑම රෝහලකම පාහේ මෙම පරීක්ෂණය සඳහා පහසුකම් අවම තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.
මහනුවර අනුරාධපුර ගාල්ල කරාපිටිය ඇතුළු ප්‍රධාන රෝහල් ගෙට ගිය රෝගීන්ට සම්පූර්ණ රුධිර ගණනය හෙවත්FBC පරීක්ෂණය සිදුකර ගැනීමට නොහැකි වූ බවත් රෝහල් මගින් පරීක්ෂණය සිදු කර නොගෙන පුද්ගලික පර්යේෂණාගාරවලට ගොස් පරීක්ෂණය සිදු කර ගැනීමට අධික මුදලක් වැය වෙන බවත් රෝගීහු ප්‍රකාශ කර සිටිති.
මේ සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා ද්‍ය ඉරේෂා ද සිල්වා ප්‍රකාශ කර සිටියේ රටේ පවතින සමස්ත ආර්ථික අර්බුදය හේතුවෙන් සහ විවිධ රසායනයන් හි හිඟතාවය මත පරීක්ෂණ සිදු කිරීමේ යම් යම් අපහසුතා සිදුවීම නොවැළැක්විය හැකි බවයි
නමුත් රෝහලට පැමිණෙන බාහිර රෝගීන් ගේ සායනික රෝගීන්ගේ සහ නේවාසික රෝගීන්ගේ රුධිර පරීක්ෂණ හැකි උපරිම අයුරින් සිදු කර දීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් මෙය මහනුවරට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවන බවත් ඇය කියා සිටියාය.
ඉදිරි මාසයේ පළමු සතිය වන විට මෙම තත්ත්වය විසඳෙනු ඇති බවට අමාත්‍යාංශය මගින් මේ වන විට දැනුම් දී ඇති බවත් එතෙක් හැකි උපරිම අයුරින් රෝගීන් වෙත රුධිර පරීක්ෂණ පහසුකම් සලසා දීමට කටයුතු කරන බවත් ඇය කියා සිටියාය