මනම්පිටිය නිමල් ජයරත්න –
-
පාසල් ගමන අත්හැරුණු ආදීවාසී දරුවන් ඇතුළු දරුවන් 12 දෙනෙක් පාසල් අධ්‍යාපනය අවසන් වනතුරු නඩත්තු කිරීම මනම්පිටිය පොලිසිය භාරගනී….
මව හෝ පියා නොමැති, ආර්ථික අපහසුතා වලින් පෙළුණු පාසල් යෑමට නොහැකිව නිවෙස්වල ජීවිතය ගත කළ ආදිවාසි දරුවන් ඇතුළු පාසැල් යන වයසේ දරුවන් දොළොස්දෙනකුට අවශ්‍ය පාසල් උපකරණ ලබාදී ඔවුන් අද (07) දිඹුලාගල දලුකාන විද්‍යාලයට ඇතුළත් කිරීමට මනම්පිටිය පොලිසිය මැදිහත් විය.
එම දරුවන්ට අවශ්‍ය පොත්, බෑග්, සපත්තු, නිල ඇඳුම්, මෙන්ම පාසල් උපකරණ මනම්පිටිය පොලිසිය මගින් ලබාදී, එම සිසුන් 1, 2, 3, 4, 5, යන වසර වලට ඇතුළත් කෙරූ අතර විද්‍යාලයේ සිටි දරුවන් හැට තුන් දෙනෙකු සඳහා ද අවශ්‍ය ත්‍යාග ලබාදීමට මනම්පිටිය පොලිසිය කටයුතු කර තිබිණි.
සැප්තැම්බර් 03 වෙනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන ජාත්‍යන්තර පොලිස් දින සැමරුම් වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ශානක ද සිල්වාගේ මැදිහත්වීමෙන් මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරීන් මෙම වැඩසටහනට දායකත්වය ලබාදුන්හ.
දලුකාන ගම්මානයේ ජීවත් වූ මෙම දරුවන්ගේ මව හෝ පියා දරුවන් ඥාතීන් අතහැ දමා ගොස් ඇති අතර, එම දරුවන් කිහිපදෙනෙකුගේ මව හෝ පියා මරණයට පත් වී සිටියේය. දෙමව්පියන් කිහිපදෙනෙකුට දරුවන් පාසල් එවීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බැවින් ඔවුන්ගේ පාසල් ගමන සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබිණි.
![](http://lankasara.com/wp-content/uploads/2022/09/1-1-6.jpg)
එවැනි ආදිවාසී දරුවන් ඇතුළුව දරුවන් දොළොස් දෙනෙකු හත් වෙනිදා සිට දලුකාන විද්‍යාලයට ඇතුළත් කර ඔවුන්ගේ පාසල් ගමන නිමවනතුරු මනම්පිටිය පොලිසිය මගින් අධීක්ෂණ කටයුතු සිදුකරන බවද මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මෙහිදී සඳහන් කළේය.
දිඹුලාගල ශාසනාරක්ෂක බලමු මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අලුත්වැවේ සේනාලංකාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම ආදර්ශ වැඩසටහනක් සිදු විය.
මෙම අවස්ථාවට දලුකාන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි අනූෂා චාන්දනී සිරිමාන්න, එම පාසලේ ගුරු මව්පියවරුන් , පොලිස් නිලධාරිනියන් ඇතුළු මව්පියන්, දරුවන් එක්ව සිටියහ.