මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල අරලගංවිල බමුණාකොටුව ප්‍රදේශයේ එකට මත්පැන් පානය කරමින් සිටි මිත්‍රයන් දෙනෙකුගෙන් එක් අයෙකු 04 වෙනිදා අලුයම මාදුරුඔය ඉසෙඩ්. ඩී. ප්‍රධාන ඇළට වැටී මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයාද හෘදයාබාධයකින් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
ඉසඩ්.ඩී, ඇළට වැටී මියගොස් ඇත්තේ අරලගංවිල දෙහිඅත්තපිටිය කොටුණාකොටුව අංක 161 ලිපිනයේ පදිංචිව සිටි දෙදරු පියකු වන හතලිස් වියති ඩබ්ලිව්. ඒ. මහින්ද කුමාර නැමැත්තෙකි.
පපුවේ අමාරුව සෑදී මියගොස් ඇත්තේ, අංක 177 දෙහිඅත්තපිටිය බමුණාකොටුව ලිපිනයේ පදිංචි, 41 වියැති කේ. ජී. පියරත්න නැමැති අයෙකි.
බමුණාකොටුව ඉසෙඩ්. ඩි. ඇල ප්‍රදේශයේ එකට මත්පැන් පානය කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් පපුව රිදෙන බව පවසා නිවසට ගොස් ඇති අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් පසු ඔහු සමඟ මත්පැන් පානය කොට ඇති අනෙක් පුද්ගලයා සෙවීමේ දී ඔහු බමුණාකොටුව ප්‍රදේශයෙන් ඉසෙඩ්.ඩී. ඇළට වැටී මියගොස් ඇති අයුරු හෙළි වී තිබේ.
ඉසෙඩ්.ඩී. ඇළට වැටී මියගිය ගිය පුද්ගලයාගේ මළ සිරුර අද (04) සවස සොයාගැනීමට හැකි වූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල් අප කළ විමසීමකදී සඳහන් කළේය.







