මනම්පිටිය නිමල් ජයරත්න –
මිහිඳු හිමියන් ජීවමානව වැඩ සිටි වකවානුවට අයත් සේ සැලකෙන අනුරාධපුර යුගයේ ශේෂ වූ පෞරාණික ස්ථූපයක්වන කවුඩාගල ස්ථූපය ඊයේ (21) රාත්‍රියේ පුරාවස්තු සංහාරකයින් විසින් විනාශ කර දමා තිබේ.
පොලොන්නරුව වැලිකන්ද ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ මෙම ස්ථූපය පිහිටා තිබිණි. .
කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති දේවගල පඤ්ඤාසීහලංකාර නාහිමියන් විසින් සිද්ධිය සම්බන්ධ පැමිණිල්ලක් කර ඇති බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
මෙම ස්තූපය මීට වසරකට පමණ ඉහතදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් කටයුතු කර 2021 අගෝස්තු 12 වැනිදා සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබිණි. එහෙත් රටේ පැවති වාතාවරණය මත එම සංරක්ෂණය කිරීම් අත්හිටුවා ඇත.
ඊයේ රාත්‍රියේ බිඳ දමා තිබුණේ කැණීම් කටයුතු අඩක් නිම කළ මෙම ස්ථූපයේ ගර්භයය. ස්ථූප ගර්භයට දැඩි ලෙස හානි කර ඇති බව මේ සම්බන්ධව කළ විමසීමක දී දේවගල පඤ්ඤාසීහලංකාර නාහිමියෝ සඳහන් කළහ
කවුඩාගල ගල් පර්වතය තුළ සීගිරි සිතුවම් හා සමාන පෞරාණික නාරි සිතුවමක් ශේෂ වී ඇති බවත් ජනවහරට අනුව එය සුගලා දේවියගේ රූපය යැයි පැවසෙන බවත් නා හිමියෝ කීහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.








