- ආර්ථික අර්බුදයේ දිග පළල ගැන වහාම සාකච්ඡාවකට එන්න
- ස්වාධීන විශේෂඥයන්ගෙනක් උපදෙස් ගන්න
- මේක කොම්පැනියක් නෙවෙයි රටක් – වැටුනොත් ජනතාව අමාරුවේ
තමන් නොමග යවන වන්දිභට්ටයන්ගෙන් උපදෙස් ලබා නොගෙන ස්වාධීන ආර්ථික විශේෂඥයන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසත් පවතින ආර්ථික අර්බුදයේ දිග පළල තේරුම් ගෙන ජනතාවට අවශ්‍ය දේ ඉටු කිරීම සඳහා වහාම විපක්ෂය සමඟ සාකච්ඡාවකට එලඹෙන ලෙසත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා අද (09) ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා රටේ සෑම ක්ෂේත්රයක්ම විදේශ විනිමය අර්බුදය නිසා මිරිකෙමින් සිටියදීත් මෙරට ඩොලර් හිගයක් නැති බවට ප්‍රලාප නැගිම පිළිබඳව මහ බැංකු අධිපතිවරයා දැඩි සේ විවේචනය කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා “අද දින පුවත්පත් කිහිපයක මුල් පිටුව දිහා බැලුවා. එහිදී මව්බිම පුවත්පතේ තිබෙනවා අපට ඩොලර් හිඟයක් නෑ කියලා ලොකුවට සඳහන් වෙනවා. එය නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රකාශයක්. ඊට පස්සේ අරුණ පත්තරේ තියෙනවා කන්ටේනර් දෙදාහක් ගන්න ඩොලර් මිලියන 20ක් ඕන ඒව හිර වෙලා තියෙන්නේ ඒ නිසා ඒවා එළියට ගන්න බැහැ කියලා. ලංකාදීප පත්තරේ තියෙනවා බෙහෙත් වලට ඩොලර් හරස් වෙයි කියලා එමනිසා බෙහෙත් හිර වෙලා බව. දිවයින පත්තරේ තියෙනවා එදාවේල ෂේප් විසඳුමක් හැටියට මහ බැංකුව රන් සංචිත යළි සේල් කියලා. බුද්ධිමත් පුද්ගලයෝ පත්තර කියවනකොට සහ රූපවාහිනියේ ප්රවෘත්ති බලනකොට හෝ ගෑස් පෝලිම ඉන්නකොට දන්නව ලංකාවයි ඩොලර් අර්බුදයක ඉන්නේ කියලා.
අද පෙබරවාරි මාසේ 09 වෙනිදා. ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවීෘම් කරන්න තියෙනවා ඩොලර් මිලියන 70ක පමණ ණය. මේ මාසය 17වැනිදා ගෙවන්න තියෙනවා ශ්‍රී ලංකා සංවර්ධන බැංකු ඩොලර් මිලියන එකසිය හැටක් හැත්තෑවක් වගේ ප්‍රමාණයක් මේ දවස් කිහිපය ඇතුළත ඩොලර් මිලියන 250ක් පමණ ගෙවන්න තියෙනවා.
අපි දැක්කා දින දෙකකට කලින් මහබැංකුව නිකුත් කරලා තිබෙනවා ඒ අයගේ සංචිත ප්‍රමාණය නොවැම්බර් අග ඩොලර් බිලියන එක හමාරක්. දත්ත විද්‍යාවක් කරලා චීනයෙන් හම්බවෙච්ච යුවාන් බිලියන 10 එකට එකතු කරල අපට ඩොලර් බිලියන 03ක සංචිත තියෙනවා කිව්වා. හැබැයි ජනවාරි මාසේ ඉවර වෙනකොට ඒ විජ්ජාවත් සමග තිබිච්ච සියලු අරමුදල් නැවත පහලට වැටිලා ඩොලර් බිලියන 2.3 එයින් චීන යුවාන් බිලියන 10 අඩු කරාම අතේ තියෙන්නේ ජනවාරි අවසානයේ ඩොලර් මිලියන 700 යි.
එම මුදලින් තමයි මේ සියලූ වියදම් කරන්න තියෙන්නේ. ඊට පස්සේ බෙහෙත් ගේන්න සල්ලි ඉල්ලනවා, කන්ටේනර් 2000 නිදහස් කරගන්න සල්ලි ඉල්ලනවා, වෙනත් අවශ්‍යතාවලට ඒ මුදල් අවශ්‍ය වෙනවා. නමුත් ඩොලර් නැහැ .අද තව තැනක පත්තරේ තියෙනවා තමන් ගාව ඩොලර් තියෙනවා නම් එය ලබා දෙන්න එහිදී එම ඩොලර් වලට රුපියල් 210 ගානේ ගෙවනවා කියලා. ඒ කියන්නේ මහ බැංකුව දැන් වෙනකොට පිලි අරගන්නවා ඒගොල්ලොන්ගෙ නිළ අගය ඩොලරයට රුපියල් 210යි කියලා. හැබැයි ඒ ගොල්ලෝ මහ බැංකුවේ නිල වශයෙන් දැනුම් දෙන්නේ රුපියල් දෙසීයයි කියලා ඩොලර් එක. හැබැයි පිටකොටුවෙ ගියාම ඩොලර් 1 රුපියල් 250 යි. මේ සියලු සත්‍ය තුළ මහ බැංකුව සූදානම් නෑ පිළිගන්න අපේ රටේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක පුදුම වැඩක් .
කබ්රාල් මහතාගෙන් අපි අහනවා මොනවද මේ කතා කරන්නෙ… ඔබතුමා හිතෙනවද මේ රටේ ඉන්න මිනිස්සුන්ට මොළයක් නැහැ කියලා. මේ පත්තරේ එක තැනක තියෙනවා අපට ඩොලර් ගිඟයක් නෑ කියලා අනිත් තියෙනවා බෙහෙත් ගේන්න ඩොලර් නෑ කියලා. කාවද මේ අන්දන්න හදන්නේ. ඇන්දවීමේ සීමාවක් තියෙනවා. තමන්ගේ පුද්ගලික ආයතනයක් මේ වගේ තමන්ගේ අධ්යක්ෂ මණ්ඩලය අන්දලා ප්‍රධාන විධායක නිලධාරියා හැටියට ඒ ආයතන බංකොලොත් කළාට අපිට ප්‍රශ්නයක් නෑ. ගැටලුවකුත් නැහැ. මේ අන්දන්න හදන්නේ මහජනතාව. මේ රටේ කොටස්කරුවෝ මහජනතාව අන්දලා බංකොලොත් කරන්නේ මේ රට. පුද්ගලික ආයතනයක් නෙමෙයි. ඔහෙලගෙ පුද්ගලික ආයතන ඔහේලා බංකොලොත් කරගන්න… අපට ප්‍රශ්නයක් නැහැ නමුත් මේ රට බංකොලොත් කරන්න අවස්ථාවක් දෙන්න බැහැ.
මේ කරන්නේ පාපකර්මයක්. ඒ නිසා නැවතත් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කියනවා එක එක වන්දිභට්ටයෝ කියන ඒවා අහන්න එපා. තවදුරටත් මුලා වෙලා ඉන්නවනම් කරුණාකරලා ස්වාධීන ආර්ථික විශේෂඥයන්ගෙන් මේ ප්රශ්නය ගැන විග්‍රහයක් අරගෙන දැන්වත් තේරුම් ගන්න. ඔබතුමා මේ රට අගාධයකට ඇද දමමින් ඉන්නවා. ඒක කරන්න එපා. අපි ජනතාවගේ නියෝජිතයා හැටියට ජනතාවාදී විපක්ෂයක් හැටියට මේ අවස්ථාවේදී කාරුණිකව ඉල්ලනවා. අඩුම වශයෙන් සාකච්ඡාවට එන්න. සාකච්ඡාවකට ඇවිත් ප්රශ්නයේ දිග පලල තේරුම් ගන්න. එහිදී කළ යුතු දේ කරන්න.







