මෙම දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජලය ඝනමීටර මිලියන දෙකක් දිනකට වාෂ්ප වන බව එම ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි.
වික්ටෝරියා ජලාශ සීමාව කිලෝ මීටර 26 ක් පුරා පැතිර පවතින බවද ඒ මහතා කීය.
දෛනිකව වික්ටෝරියා ජලාශය මගින් ගිගා වොට් පැය 2.5-3.0 අතර විදුලි නිෂ්පාදනයක් කරන බවත් මෙම මාසයේ ගතවූ දින 30 ක කාලයේදී ජලය ඝන මීටර මිලියන 180 ක පමණ ජල ප්‍රමාණයක් මුදාහරිමින් ගිගාවොට් පැය 85 ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට මුදාහැර තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438 ක් වන අතර පසුගිය 28 දා වන විට එය 423 ක් දක්වා පහත බැසි තිබිණි.
ජලාශයේ මුළු ජල ධාරිතාව ඝන මීටර් මිලියන 723 ක් වන අතර 28 වන විට එම අගය පැවැතියේ 421.7 ක අගයකය.









