කීර්ති ප්‍රනාන්දු –
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරද්දී වැටුප් ලෙස ලද මුදල් ඔහුගේ ගිණුමෙන් සොරකම් කළේ යැයි චෝදනා ලබන බව මාධ්‍ය විසින් වාර්තා කරන අග්‍රමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර සම්බන්ධව මේ වනතුරු කිසිදු පොලිස් පැමිණිල්ලක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ඒ නිසා එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් පොලිසිය විසින් සිදුනොකරන බවය.
චෝදනාවට ලක්වන උදිත් ලොකු බණ්ඩාර හිටපු කතානායකවරයෙක් වූ වී.ජ.මූ ලොකුබණ්ඩාරගේ පුතනුවන්වන අතර කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත් කටයුත කළ අයෙකි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වසර හයක කාලයක සිට ඒ.ටී.එම් කාර්ඩ් පත් යොදාගෙන වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි ඔහුට මේ වනවිට චෝදනා එල්ලවන බව මාධ්‍ය විටින් විට වාර්තා කළේය.
අගමැති ගිණුමේ මුදල් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් එය පරීක්ෂා කර බැලීමේදී මෙම කරුණ හෙළිවී ඇති බවත් මෙම මූල්‍ය වංචාව හෙළි වීමෙන් පසු උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.









