යටිනුවර ප්රාදේශීය සභාවේ 2022 අයවැයට පක්ෂව ඡන්දය දුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන්ට එරෙහිව ක්රියාමාර්ග ගන්නා ලෙස පක්ෂ මහලේකම්වරයා වෙත යටිනුවර පක්ෂ ප්රධාන සංවිධායක මහේෂ් සේනානායක මහතා විසින් දැනුම් දී තිබේ.
යටිනුවර ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය සමඟ සිටින මන්ත්රීවරුන් වන උපුල් වීරසිංහ, කාන්ති සුමනා කුමාරිහාමි, කුමාරි යාපා මැණිකේ, නන්දා දැලිවල, අජිත් ප්රියන්ත මුතුගල, කුමාරි ගුණසේකර, ටී.එච්.ඩබ්. මංගලිකා යන මන්ත්රීවරුන් සහ මන්ත්රීවරියන් අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.
මේ මොහොතේ ජනතාව අතර දැඩි අප්රසාදයට ලක්ව තිබෙන රජයට විරෝධය පල කිරීමේ තීරණාත්මක අවස්ථාවක් ලෙස පළාත් පාලන ආයතනවල අයවැය ඡන්ද විමසීම සැලකිය හැකි බව එම පක්ෂය පෙන්වා දෙයි.
විපක්ෂයේ සෑම මන්ත්රිවරයෙකු ම ඊට විරුද්ධව ඡන්දය ප්රකාශ කිරීම, ආණ්ඩුවේ වත්මන් දුර්දාන්ත වැඩපිළිවෙළට විරෝධය පළ කිරිම සඳහා කල යුතු හොඳම දෙය බව එම පක්ෂයේ අදහසයි.
පක්ෂ තීරණය නොතකා යටිනුවර ප්රාදේශීය සභාවේ ඡන්දයේ දී එක්සත් ජාතික පක්ෂයේ සමගි ජනබලවේගයේ මන්ත්රීවරුන් රටේ ජනතාවගේ තීරණයට විරුද්ධව ආණ්ඩුවට පක්ෂව අයවැය ජයග්රහණය කරවීම සඳහා ඡන්දය දී තිබීම නින්දිත ක්රියාවක් බව එක්සත් ජාතික පක්ෂය කියා සිටී.
ඊට සහයෝගය දුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන්ට එරෙහිව විනය ක්රියාමාර්ග ගතයුතු බවට යටිනුවර ප්රධාන සංවිධායකවරයා කියයි.
සමගි ජනබලවේගයේ මන්ත්රීවරුන් ද මෙම නින්දිත තීරණයට පක්ෂ වූ බවට ඔහු චෝදනා කර සිටී.







