මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුව වැඩිදුර විභාගය දෙසැම්බර් මස 01 වනදා සහ 02 වනදා සිදුකිරීමට කොළඹ මහාධිකරණය අද (11) නියම කළේය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල කරමින් ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේදී කැඳවනු ලැබීය.
මෙම විත්තිකරුවන් ට අදාළ අධිචෝදනා පත්‍ර ඉවත් කරගන්නේ ද? නැද්ද ?යන තීරණය අද දින අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
එහෙත් එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දන්වා සිටියේ, තමන් විසින් තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුගේ සාක්ෂි මෙහෙයවීම ද අපේක්ෂා කරන බවය.
එම නඩුව 2015 වසරේ ගොනුකරන ලද පැරණි නඩුවක් යැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත වරින්වර සාක්ෂිකරුවන් කැඳවා සාක්ෂි මෙහෙයවීමට නීතිය තුළ ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දුන්නේය.
එබැවින් එම නඩුවේ විභාගය කඩිනමින් නිම කිරීම අවශ්‍ය බව විනිසුරුවරයා පැවසීය.
ඒ අනුව නඩුව තවදුරටත් විභාග කිරීමට තීරණය කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත එහෙත් ඕනෑම අවස්ථාවක සාක්ෂි මෙහෙයවීමක් නොකරන බව දැනුම් දීමට නීතිපතිවරයාට අවකාශ පවතින බව ද පෙන්වා දුන්නේය.







