මනම්පිටිය – නිමල් ජයරත්න –
තමන් වසර හතක් තිස්සේ පදිංචි වී සිටින ඉඩම සඳහා බලපත්‍රයක් ලබා දීමට රුපියල් පනස් දහසක අල්ලසක් ඉල්ලා සිටීමට විරෝධය පලකරමින් වැලිකන්ද මහින්දාගම දරු පවුලක් මහවැලි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.
වසර හතක් තිස්සේ පදිංචිව සිටින තම ඉඩමට බලපත්‍රයක් ලබා දෙන ලෙසට මහවැලි නිලධාරින්ට ලිඛිතව දැනුම් දුන්නද ඊට මහවැලි නිලධාරින් ක්‍රියාත්මක නොවුන බවත්, ඒ සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලන ඒකක කළමනාකාරවරියක් මේ වනවිට තමන්ට තර්ජනය කර තම ඉඩමට පිරිසක් ඇතුළු කර බලහත්කාරයෙන් ගඩොල් කැපීමක් සිදුකරන බවටත් උපවාසයේ නියුතු දරු පවුලේ පියා වූ පී.ආර්.එම්. සරත් රත්නායක (57) ලංකාසරට පැවසීය.
මේ වනවිට අවරුදු 12 දියණිය, අවුරුදු 07 පුතනුවන්, පවුලේ මව සහ පියා උපවාසයේ නිරතව සිටිති.
“ ඉඩමට යන්න එන්න පාරක් නෑ. විදුලි බිල කියවන්නවත් මනු කියවන්නා එන්නෙ නෑ. ලයිට් බිල දෙන්නෙත් කිලෝමීරටයක් ඈත ගෙදරකට. ඉඩමට බලපත්‍රය ඉල්ලුවාම නොදී අත යට ගනුදෙණු ගැන කියනවා. අපිට යන්න එන්න තැනක් නෑ. .විසඳුමක් දෙන තුරු මෙතනින් නැගිටින්නෙ නෑ… දරුවො එක්කම නොකා නොබී මෙතනම මැරෙනවා.“ ඔහු තවදුරටත් කීවේය.
මේ පිලිබඳව මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරි ගෙන් දුරකතනයෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙම පුද්ගලයාට එම ඉඩම් බලපත්‍රය හා මාර්ගය සකසා දීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවය.







