තිස්ස ගුණතිලක –
කොමුණේ යනු ඉතාලි භාෂාවෙන් නගර සභාවය. කොන්සිලියෝ කොමුනිලානේ යන ඉතාලි වචනය මේ දිනවල එරට ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ජනප්‍රියය. ඊට හේතුව පිටුපස තිබෙන්නේ එරට ශ්‍රී ලාංකිකයන්ට නව ප්‍රවේශයක් විවරවීමේ කතාවකි. ඒ කතාව ගොනුවන්නේ මෙසේය.
විවිධ හේතු මත සංක්‍රමණික ශ්‍රී ලාංකියන් බොහෝ පිරිසක් කාලයක සිට එරට වාසය කරති. එසේ පැමිණි ලාංකිකයන්ට මුලින්ම ලැබුණේ රැකියාවක් පමණි. පසුව ඔවුන්ට පුරවැසිභාවය ද හිමි විය. වැදගත්ම දේ දැන් ඔවුන්ට දැන් ඉතාලියේ දේශපාලනයට සම්බන්ධ වීමේ වටිනා අවස්ථාවක් උදාවි තිබීමය.
ඉතාලියේ වෙසෙන යුරෝපීය නොවන ආසියාතික සම්භවයක් ඇති ඉතාලි පුරවැසියන් වෙනුවෙන් එරට දේශපාලනයේ මෙම හිමිකම ලැබී තිබෙන්නෙ ඉතාලියේ නගර සභා මැතිවරණයෙනි.
අද (03) සහ හෙට (04) දෙදින තුළ පැවැත්වෙන මෙම මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයින් ලෙස ඉතාලියේ දේශපාලන කරලියට පිවිසීමට ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලාංකියන් 06 දෙනෙකුට අවස්තාව ලැබී ඇත.
එයින් හතර දෙනෙකුම තරග වදින්නේ ඉතාලියේ මිලානෝ නගරසභාවට අයත් ඡන්ද කොට්ඨාස නවය අතරින් කොට්ඨාශ හතරක් සඳහාය.
ඔවුන් අතරින් මිලානෝ නගරයේ අංක 8 ඡන්ද කොට්ඨාසට තරග කිරීමට ඉදිරිපත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉතාලියේ දිත්ව පුරවැසිභාවය හිමි ධම්මිකා චන්ද්‍රසේකරය.

වසර තිස්පහක පමණ සිට ඉතාලියේ වෙසෙන ඇය 1986 වසරේදී ඉතාලියට සංක්‍රමණයව ඇත්තේ බොහෝ දුෂ්කරතා මැදය.
කඳානේ සෙන් සෙබස්තියන්, ද මැසනොඩ් කොලේජ් සහ රොස්මින්ඩ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යපනය හදාරා ඇති ඇය විදේශගත වන විට රැකියාවක නිරතව සිට ඇත්තේ එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ පුද්ගලික ලේකම්වරියක ලෙසය.
ඉතාලියට පැමිණෙන ධම්මිකාගේ මුල් වාසස්ථානය නාපොලි නගරයයි. එහිදි මව් රටේ මෙන් සුව පහසු රැකියාවක් හිමි නොවූ ඇයටද නිරත වීමට සිදුවුයේ අනෙකුත් විදේශිකයන් මෙන් පිරිසිදු කිරීමේ රැකියාවකය. පසුව 1990 වසරේදී ඉතාලියේ ධනවතුන්ගේ නගරයක් ලෙස සැළකෙන මිලානෝ නගරයට සංක්‍රමණයව වීවිධ රැකියාවන් කරමින් අඩියෙන් අඩිය ඉහලට පැමිණි ධම්මිකා දැනට වසර විසිඅටක සිට කෝකියෙකු ලෙස ආයතනයක සේවය කරන්නීය.
ධම්මිකා මිලානෝ නගරයේ ශ්‍රී ලාංකියන්ගේ සුබ සාධන කටයුතුවලදී ඉදිරියෙන්ම සිටින කාන්තාවකි.
රෝයි අබේසේකර හෙවත් එරට ශ්‍රී ලාංකියන් අතර ප්‍රසිද්ධ රෝයි ගංතා මිලානෝ නගරසභාවේ අංක 05 කොට්ඨාසයට තරග කරන අපේක්ෂකයෙකි.

කොළඹ කොලොන්නාව ප්‍රදේශයේ උපන් ඔහු වසර 47 ක සිට ඉතාලියේ වාසය කරන්නේය. රැකියාව සඳහා නැවියෙකු ලෙස හැතුතෑව දශකයෙදී නැව් නැග ලෝකයේ රටවල් ගණනාවකට යන ඔහුගේ අවසන් නැවතුම්පොළ වන්නේ ඉතාලියේ මිලානෝ නගරයයි. අද ඔහු ඉතාලියේ දේශපාලනයට පිවිසීමට වරම් අපේක්ෂාවෙන් සිටින්නේය.
ක්‍රිස්ටෝපර් දඹගේ අප හැඳින ගන්නේ මිලානෝ නගරසභා අංක 07 කොට්ඨාසයට ඉදිරිපත්ව සිටින තවත් ශ්‍රී ලාංකීය අපේක්ෂකයෙකු ලෙසය.

වෙන්නප්පුව ශාන්ත මරියා සහ මාරවිල ශාන්ත සේවියර් පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති ඔහු මෙරට ජාතික තලය නියෝජනය කළ දක්ෂ මළල ක්‍රීඩකයෙකි. මීටර් 1500 ඉසව්වෙන් ජාතික මළල ක්‍රීඩා ශූරතාව නියෝජනය කර ඇති ක්‍රිස්ටෝපර් විදේශගත වන්නේ පවුලේ පැවති දැඩි ආරථික දුෂ්කරතාවට පිළිතුරක් සොයාගෙනය.
ස්වකීය නිවස උකසට තබා මුලින්ම යුගොස්ලෝවැකියාවට පැමිණි ඔහු රටින් රටට දේශසිමා තරණය කර අවසානයේ නවතින්නේ ඉතාලියේ ය. ඔහු ඉතාලියේ කුඩා පාපන්දු ක්‍රීඩා සමාජයක් පවත්වාගෙන යන්නේය. එහි වැඩි වශයෙන් ක්‍රීඩා කරන්නේ ඉතාලියට පැමිණි ආසිතික සංක්‍රමණිකයන්ය. මිලානෝ නගරසභා අපේක්ෂකයෙකු ලෙස ඉදරිපත් වීමේ විරල අවස්ථාව ඔහුට හිමි වන්නේ අහම්බෙනි.
ඔහුට අපේක්ෂකත්වය ලැබෙන්නේ ඉතාලියේ පවතින විපක්ෂයෙනි. ඔහුට ආරාධනාව ලැබෙන්නෙ එම පක්ෂයේ ක්‍රියාකාරී ඉතාලිජාතිකයෙකුගෙනි. ඔහු කියන්නේ මෙය තමන්ට අහම්බයෙන් ලැබුණු අවස්ථාවක් බවය.“
ක්‍රිස්ටීනා ගිත්මි මිලානෝ නගරයේ සමස්ත කොට්ඨාස සඳහා තරග වදින තවත් ශ්‍රී ලාංකික කාන්තාවකි.

භාෂා හයක නිපුනතාවක් ඇති ඇය දක්ෂ තරුණ කාන්තාවකි. මිලානෝ නගරයේ බෙප්පේ සාලා නගරාධිපති සමග ඩෙමොක්ක්‍රටිස් පක්ෂයෙන් ඇය මිලානෝ මහ නගරසභා මැතිවරණ තරග බිමට පිවිස තිබේ.
මිලානෝ නගරසභා ඡන්දයට ඉදිරිපත්ව සිටින එම ශ්‍රී ලාංකික අපේක්ෂක අපේක්ෂිකාවන්ට හතර දෙනා හැරුණ විට ඉතාලියේ නාපෝලි නගරසභා තරග බිමට පිවිස ඇති අනෙකුත් ශ්‍රී ලාංකික සම්භවක් ඇති ඉතාලි පුරවැසියන් වන්නේ අංජලී අලහකෝන් සහ රවීන්ද්‍ර ජෙගන්ය.
නාපොලි නගරයේ ජීවත්වන විදේශීය ජාතීන් 105 අතරින් එක් මන්ත්‍රීධූරයක් සඳහා තරග බිමට පිවිස ඇත්තේ රවීන්ද්‍ර ජෙගන්ය. ඔහුගේ ප්‍රතිවාදීන් වන්නේ එක් සෙනගල් ජාතිකයෙක් සහ බංගලාදේශ ජාතිකයෙකි.

මැතිවරණයට පිවිස ඇත්තේ ඉතාලියේ උපත ලද ඉතාලිජාතික අපේක්ෂිකාවක ලෙසිනි.
නාපොලි නගරාධිපති අපේක්ෂක Gaetano Manfredi රිපක්බිලිකන් ඩිමොක්ක්‍රටික් පක්ෂයෙන් තරග කරන ඇය තවමත් 25 හැවිරිදි යෞවනියකි. ඉතාලියේ Naples Federico 11 විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇත්තීය. අවන්හල්වල, නිවාසවල, ගෙවතුවල වැඩ කරමින් ජීවිතය ගොඩ නැගූ පළමු පරම්පරාවේ දහඩිය මහන්සිය අගයට වටිනාකමක් දෙමින් ඔවුනගෙන් බිහිවුණ අපේ දෙවන පරම්පරාවේ කතාව අලුතින් ලියන්නට ඇය සූදානම් බව අංජලී අපට කීවාය.

ඉතාලිය සරණාගතයින් සම්බන්ධව ක්‍රියාත්මක කරන්නේ ලිහිල් ආගමන විගමන පිළිවෙතකි. එබැවින් ඉතාලියට යා හැකිය. නමුත් එසේ යන සියයට අනූ නවයකටම තවමත් හිමි වන්නේ වතු ආශ්‍රීත ගෘහ සේවය හෝ හෝටල් ආශ්‍රීත රැකියාය.
එවැනි පසුබිමක සමෘද්ධිමත් රටක් වන ඉතාලියේ සක්‍රීය දේශපාලයට පුරවැසිභාවය ලද ශ්‍රී ලාංකිකන් ප්‍රවිශ්ට වීමේ ප්‍රවණතාව නව යුගයක උදාවකි.







