රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවන බවත්, එබැවින් ඔහු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම වගඋත්තරකරුවන්ට නොතීසි පවා නිකුත් කිරීමකින් තොරව මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කළ යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අද අභියාචනාධිකරණයට ප්‍රකාශ කළාය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සුරේෂ් සලෙයි විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ශානි අබේසේකර මෙම විමර්ශනයෙන් ඉවත් කළ යුතු බවට සුරේෂ් සලෙයි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ තර්කයන්ට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ඉදිරිපත් කළ කරුණු:
“ස්වාමීනී, මෙම පෙත්සම ප්‍රථම වරට සලකා බලනු ලැබුවේ මැයි 7 වනදායි. එම අවස්ථාවේදී පෙත්සම්කරු අසාද් මවුලානා විසින් කරන ලද ප්‍රකාශයන් මත පදනම් වෙමින් කරුණු ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව, ජූනි 4 වනදා මෙම පෙත්සම නැවත කැඳවූ අවස්ථාවේදී, විමර්ශකයන්ගේ අත්අඩංගුවේ පසුවන අතරතුර පෙත්සම්කරු වධහිංසාවලට ලක් වූ බවට චෝදනා කරමින් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
ජූනි 10 වනදා මෙම කරුණ නැවත සලකා බැලූ විට පෙත්සම්කරු ප්‍රකාශ කළේ, ඇමරිකානු එෆ්.බී.අයි (FBI) විමර්ශකයන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත්, ඉන් පසුව මොහොමඩ් නවුෆර් ඇතුළු පිරිසට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ නඩු පවරා ඇති බවත් කීවා.
පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියේ එෆ්.බී.අයි විමර්ශකයෙකු විසින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බවයි… එම දිවුරුම් ප්‍රකාශය මඟින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් බව තහවුරු කර ඇති බවයි.
ජූනි 11 වනදා පෙත්සම නැවත කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කරු විසින් ජයිකි ද අල්විස් වාර්තාව, මලල්ගොඩ කමිටු වාර්තාව සහ ඉමාම් කොමිෂන් සභා වාර්තාව ඇතුළු වාර්තා පහක් පෙන්වා දෙමින් තර්ක කළේ, ඇතැම් කොමිෂන් සභා වාර්තාවල ශානි අබේසේකර පිළිබඳව අහිතකර නිරීක්ෂණ අඩංගු බැවින් ඔහුට මෙම විමර්ශන සිදු කළ නොහැකි බවයි. දින හතක් තිස්සේ පෙත්සම්කරුගේ ප්‍රධානතම තර්කය වූයේ, මෙම විමර්ශනය කිසිදු තත්ත්වයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර විසින් සිදු නොකළ යුතු බවයි.
නමුත් මෙම විමර්ශනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටිනවා. ඔවුන්ට එරෙහි විමර්ශනද සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේයි. එබැවින් පෙත්සම්කරු ඉල්ලා සිටින පරිදි මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂවරයාගෙන් ඉවත් කිරීමට කිසිදු පදනමක් නැහැ. පෙත්සම්කරු චෝදනා කරන්නේ ශානි අබේසේකර තමන් කෙරෙහි පෞද්ගලික වෛරයකින් පසුවන බවයි. ඔහු මීට පෙර මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද ඉල්ලා සිටියා ශානි අබේසේකරව මෙම විමර්ශනයෙන් ඉවත් කරන ලෙස. එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල්ම පැමිණිල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළේ පූජ්‍ය රොහාන් සිල්වා පියතුමා විසින්. ඉන් අනතුරුව අමාත්‍යාංශයේ ලේකම්වරයා එම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමු කළ අතර, පොලිස්පතිවරයා විසින් එය විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබුවා. මෙම විමර්ශනයට අදාළ පළමු ‘බී’ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ 2024 නොවැම්බර් 11 වනදායි. එම අවස්ථාව වන විට ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළේ නැහැ, සක්‍රීය පොලිස් සේවයේ පවා සිටියේ නැහැ.
එපමණක් නොව, 2024 නොවැම්බර් 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුරේෂ් සලෙයි සහ පිල්ලෙයාන්ට එරෙහිව විදේශ ගමන් තහනම් නියෝග ලබාගත්තා. එම නියෝග ලබාගත්තේ ශානි අබේසේකර නොවෙයි. ඒ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේ මංගල දෙහිදෙනියයි. ඉන් පසුව හිමේෂා මුතුමාලි යන තවත් අධ්යක්ෂවරියක යටතේත් මෙම විමර්ශන සිදුවුණා. මෙය ඉතා බරපතළ විමර්ශනයක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය විමර්ශනය නොකළ යුතු නම්, මෙය බාරදිය යුත්තේ පිටකොටුව පොලිසියටද?”
මේ අතර, සුරේෂ් සලෙයි විසින් විමර්ශකයන් නොමඟ යැවීමේ අදහසින් ප්‍රකාශ සිදු කර ඇති බවද අද අධිකරණයේදී අනාවරණය විය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මතු කළ තවත් කරුණක් මෙසේය.
“ස්වාමීනී, පෙත්සම්කරු ප්‍රකාශ කර තිබෙන්නේ තමන් 2019 ජනවාරි 3 වනදා ආරක්ෂක පාඨමාලාවකට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය බව ප්‍රකාශ කරනවා, නැවත මෙරටට පැමිණියේ එම වසරේ දෙසැම්බර් මාසයේදී බවත් ඔහු කියනවා. ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයේ සහ නිල ගමන් බලපත්‍රයේ පිටපත් මෙම පෙත්සම සමඟ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඔහුගේ ගමන් ලියකියවිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ අවස්ථාවේදී පෙත්සම්කරු කියා සිටියේ, මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවය නිමා කර පැමිණි පසු තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත බාර දුන් බවයි.
නමුත් ඔහු එම රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයේම සහතික කළ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ගමන් බලපත්‍රය විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර දුන්නේ නම්, එහි සහතික කළ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔහුට හැකි වූයේ කෙසේද?
ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබෙනවා. නමුත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයෙන් තෝරාගත් පිටු 17ක් හෝ 18ක් පමණක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර නිල ගමන් බලපත්‍රයෙන් ඉදිරිපත් කර ඇත්තේ පිටු හතරක් පමණයි. නිල ගමන් බලපත්‍රයේ 56 වන පිටුවේ ආගමන විගමන මුද්‍රා කිහිපයක් දැකගත හැකියි. එහි 2019 මැයි 18 වන දිනැති ඉන්දීය ආගමන විගමන අංශයේ පිටවීමේ මුද්‍රාවක් තිබෙනවා. එමෙන්ම 2019 ජූනි මාසයේ ඉන්දීය ආගමන විගමන අංශයේ ඇතුළුවීමේ මුද්‍රාවක්ද තිබෙනවා. පෙත්සම්කරු අධිකරණයට දැනුම් දුන්නේ ආරක්ෂක පාඨමාලාව සඳහා ඉන්දියාවට ගිය පසු තමන් කිසිම දිනක ඉන්දියාවෙන් පිටතට නොගිය බවයි. නමුත් ස්වාමීනී, මෙම මුද්‍රා මඟින් පැහැදිලිවම පෙනී යන්නේ එම කාල වකවානුව තුළ ඔහු ඉන්දියාවෙන් පිටව ගොස් ඇති බවයි.”
එම අවස්ථාවේදී සුරේෂ් සලෙයි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ කළේය.
ඊට දැඩි ලෙස විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් තර්ක කළේ පෙත්සම්කරු අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවන බවයි. රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය තමන් සන්තකයේ තබාගෙන, එය එසේ නොමැති බවට අසත්‍ය ප්‍රකාශ කරමින් පෙත්සම්කරු විමර්ශකයන් නොමඟ යැවීමට උත්සාහ කර ඇති බවට ඇය චෝදනා කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් දැක්වූ කරුණු මෙසේය.
“ස්වාමීනී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ විසින්, පෙත්සම්කරු වන සුරේෂ් සලෙයි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට බාධා කළ ආකාරය පැහැදිලි කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
2019 වසරේ සයින්දමරුදුහි සිදු වූ පිපිරීමෙන් පසුව, සාරා ජැස්මින් නමැති කාන්තාව දිවි ගලවාගෙන ඉන්දියාවට පලා ගොස් ඇතිද යන්න පිළිබඳව විශාල කතාබහක් ඇති වුණා. සුරේෂ් සලෙයි විමර්ශන සමාලෝචන රැස්වීම්වලදී දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කළේ මෙම සිදුවීම නිසි ලෙස විමර්ශනය කිරීමට අපොහොසත් වී ඇති බවටයි. එම රැස්වීම්වලදී පෙත්සම්කරු තරයේ කියා සිටියේ සාරා ජැස්මින් එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි…, නිසි ඩී.එන්.ඒ (DNA) පරීක්ෂණ සිදු කර නොමැති බවයි…
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශයෙන් මෙය තහවුරු වෙනවා. පෙත්සම්කරුගේ ස්ථාවරය වූයේ තවත් ඩී.එන්.ඒ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට අනුව, පසුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත එය සිදු කිරීමට ඔහු සමත් වී තිබෙනවා. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම ප්‍රකාශය 2026 මාර්තු 11 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.”
මේ අතර, සුරේෂ් සලෙයිගේ රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින පූජ්‍ය රොහාන් සිල්වා පියතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඩී. පෙරේරා අධිකරණයට ප්‍රකාශ කළේ ජයිකි ද අල්විස් කොමිෂන් සභා වාර්තාව කිසිදු දිනක නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවය.
නීතිඥ සුරේන් ඩී. පෙරේරා දැක්වූ කරුණු:
“ස්වාමීනී, පෙත්සම්කරු විසින් ජයිකි ද අල්විස් කොමිෂන් සභා වාර්තාව ලෙස හඳුන්වන ලේඛනයක් මෙම නඩුව සමඟ ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එම වාර්තාව කිසිම දිනක නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් එය මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කරනු ලැබුවා. අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ එම කමිටු වාර්තාවේ ඡායා පිටපතක් (photocopy) පමණයි. එය ඉදිරිපත් කර ඇත්තේ අභියාචනාධිකරණයේ නඩු කටයුතු පාලනය වන රීතීන්ට සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයටයි.”
මීළඟ නඩු වාරයේදී මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණ සභාපතිවරයා පෙත්සම්කරුගේ නීතිඥවරුන්ට නියෝග කළේය.
මෙම පෙත්සම හෙට (28) දින නැවත කැඳවීමට නියමිතය.







