කපිල කේ හීනටියන –
මීට මාස හතරකට පෙර ඇවිළී ගිය දරුණු යුද්ධය අවසන් කිරීමේ අරමුණු බිඳ වැටෙමින් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය සිය මිලිටරි ප්‍රහාර මාලාවන් අඛණ්ඩව ඉදිරියටම පවත්වාගැනීම නව වටයකින් ආරම්භකර ඇත.
.ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් “මිලිටරිමය වශයෙන් තමන් ආරම්භ කළ කාර්යය සම්පූර්ණයෙන්ම නිම කිරීමට ඇමෙරිකාව පසුබට නොවන බවටත් එසේ වුවහොත් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෝක සිතියමෙන් අතුරුදහන් වනු ඇති බවටත් ” සිදුකළ දැඩි අනතුරු ඇඟවීමෙන් පැයක් ගත වන්නට පෙර ඉරානය විසින් ඉරිදා අලුයම කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමෙරිකානු මිලිටරි කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කරනු ලැබුවේය. මේ නවතම වර්ධනය වාර්තා වන්නේ අද (28) අළුයමය.
නව ගැටුමේ මුල සහ ගිවිසුම් බිඳී යෑම
ලෝකයේ වැදගත්ම සහ උපායමාර්ගිකව ඉහළම අගයක් ගන්නා බලශක්ති ප්‍රවාහන මුහුදු මාර්ගය ලෙස සැලකෙන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ තුළදී බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී පැය කිහිපයක් ගතවීමට මත්තෙන්, තමන් ඉරානයට එරෙහිව යළිත් වරක් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඇමෙරිකානු හමුදාව මීට පෙර නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණි. මෙම සිදුවෙමින් පසු සමස්ත කාලය පුරාම හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අවහිර කර තැබීමට ඉරානය කටයුතු කළේය.
ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් කරුණු 14කින් සමන්විත මෙම තාවකාලික එකඟතාවයේ මූලිකම පරමාර්ථය වී තිබුණේ, පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඒකාබද්ධව ආරම්භ කරන ලද මිලිටරි ගැටුම් වහාම අත්හිටුවීමය. එමෙන්ම, මෙමඟින් හෝමුස් සමුද්‍ර සන්ධිය නැව් ගමනාගමනය සඳහා යළි විවෘත කිරීමටත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වැනි දෙපාර්ශ්වය අතර පවතින වඩාත් සංකීර්ණ හා ගැඹුරු ගැටලු පිළිබඳව දිගුකාලීන සාකච්ඡා වට ආරම්භ කිරීමටත් මාවත සකස් කර ගැනීමට අපේක්ෂා කෙරිණි.
සාම සාකච්ඡාවලින් පසු යළි ඇවිළුණු ප්රචණ්ඩත්වය සහ චෝදනා
මීට සතියකට පෙර ස්විට්සර්ලන්තයේදී ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් කලීබාෆ්ගේ ප්‍රධානත්වයෙන් මැදිහත්කරුවන්ගේ සහභාගිත්වයෙන් යුතුව විශේෂ සාකච්ඡා වටයක් පවත්වන ලදී. ඉන් අනතුරුව වොෂින්ටන් පාලනය විසින් ටෙහෙරානයට එරෙහිව පනවා තිබූ ඇතැම් ආර්ථික සම්බාධක ඉවත් කිරීමටද පියවර ගත්තේය. එසේ වුවද, ඉන් පසුව දෙපාර්ශ්වය අතර පවතින මිලිටරි ගැටුම් සහ අන්‍යෝන්‍ය වශයෙන් එල්ල කරගන්නා යුද චෝදනා ඉතා වේගයෙන් තීව්ර වෙමින් වඩාත් දරුණු අතට හැරී ඇත.
“අපට තවදුරටත් සාධාරණ ලෙස සහ ඉවසීමෙන් කටයුතු කිරීමට නොහැකි වන සන්ධිස්ථානයක් පැමිණිය හැකියි. එවැනි තත්ත්වයකදී, අප ඉතාමත් සාර්ථක ලෙස ආරම්භ කළ මිලිටරිමය මෙහෙයුම සම්පූර්ණයෙන්ම අවසානයක් කරා ගෙන යෑමට අපට අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. ඉදින් එවැනි දෙයක් සිදු වුවහොත්, මෙලොව තුළ ඉරාන ඉස්ලාමීය ජනරජය කියා රාජ්‍යයක් තවදුරටත් ඉතිරි වන්නේ නැත!” යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සෘජුවම අනතුරු අඟවා තිබුණි.
ජනාධිපති ට්‍රම්ප් විසින් මෙම නිවේදනය නිකුත් කර හරියටම පැයකට පමණ පසු, කුවේට් දේශසීමාව දෙසින් පැමිණි “සතුරු” මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකට තම රටේ ගුවන් ආරක්ෂණ පද්ධති සාර්ථකව ප්‍රතිචාර දක්වමින් සිටින බව කුවේට් හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කළේය. එමෙන්ම බහරේන රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, එම අවස්ථාවේදීම බහරේනය පුරාද අනතුරු ඇඟවීමේ දැවැන්ත සිරස් හඬවල් නාද වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) තහවුරු කර සිටියේ, මෑතකදී ඇමෙරිකානු හමුදාව විසින් ඉරාන භූමිය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්රහාරයන්ට එකට එක කිරීමක් (ප්‍රතිචාර දැක්වීමක්) වශයෙන්, කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමෙරිකානු මිලිටරි කඳවුරු සහ මධ්‍යස්ථාන වෙත තම නාවික හා ගුවන් බලඇණි ඒකාබද්ධව මෙම මිසයිල සහ ඩ්‍රෝන මෙහෙයුම් දියත් කළ බවයි.
ඇමෙරිකානු ආරක්ෂක අංශවල උසස් නිලධාරියෙකු මෙම ප්රහාරයන් සිදුවූ බව තහවුරු කරමින් ප්‍රකාශ කර සිටියේ, අදාළ මිලිටරි මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල වූ බව සැබෑවක් වුවද, තත්ත්වය තවමත් විශ්ලේෂණය වෙමින් පවතින බවය. කෙසේ වෙතත්, මේ වන තෙක් මැදපෙරදිග කලාපයේ පිහිටි කිසිදු ඇමෙරිකානු ආරක්ෂක කඳවුරකට බරපතළ මට්ටමේ දේපළ හානියක් හෝ ඇමෙරිකානු භටයන්ට කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
නමුත් ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන ‘ප්‍රෙස් ටීවී’ (Press TV) විකාශය කළ වාර්තාවකට අනුව, විප්ලවීය ආරක්ෂක බලකාය සිය ප්‍රකාශය මඟින් අවධාරණය කර ඇත්තේ ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පවතින සටන් විරාම එකඟතාව සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවය. මෙමඟින් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ සියලුම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ක්‍රියාවලීන් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව පවසන ඔවුන්, මැදපෙරදිග කලාපයේ පවතින ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඉදිරි දින කිහිපය තුළදී “නිරයේ අත්දැකීම විඳ ගැනීමට” සිදුවනු ඇති බවටද තර්ජනය කර ඇත.
ඇමෙරිකානු මධ්‍යම බලඇණිය (US Central Command) මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, පැනමා රාජ්‍යයේ ධජය යටතේ ගමන් කරමින් තිබූ බොරතෙල් ප්‍රවාහන නෞකාවකට සෙනසුරාදා දිනයේදී ඉරාන ඩ්‍රෝන යානයක් මඟින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව, තම බලඇණි විසින් ඉරානයට එරෙහිව මෙම නව ගුවන් ප්‍රහාර මාලාව දියත් කළ බවය.
“සටන් විරාම ගිවිසුමට ගරු කරමින් සාමය පවත්වා ගැනීමට ඉරානයට ඉතා හොඳ අවස්ථාවක් ලබා දී තිබුණද, ඔවුන් එය සිතාමතාම ප්‍රතික්ෂේප කර තිබේ,” යනුවෙන් මධ්‍යම බලඇණිය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම ප්රහාරයන් ජාත්‍යන්තර වාණිජ නෞකාවලට එරෙහිව ඉරානය දිගින් දිගටම සිදු කරන සන්නද්ධ ආක්‍රමණශීලී ක්‍රියාවන්ට සෘජුවම දුන් පිළිතුරක් බවත්, එහිදී ඉරාන මිලිටරි නිරීක්ෂණ මධ්‍යස්ථාන, සන්නිවේදන ජාල, ගුවන් ආරක්ෂණ පද්ධති, ඩ්‍රෝන ගබඩා සහ මුහුදු බෝම්බ අතුරන මධ්‍යස්ථාන ඉලක්ක කරගත් බවත් ඇමෙරිකාව පවසයි.
මේ අතර, දකුණු ඉරානයේ පිහිටි උපායමාර්ගික නගරයක් වන සිරීක් (Sirik) කලාපයෙන් විශාල පිපිරීම් හඬවල් කිහිපයක් ඇසුණු බව ඉරාන රාජ්‍ය විකාශන ආයතනයක් වන IRIB ආයතනය තහවුරු කළද, ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අනාවරණය කර නොතිබුණි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, “සිරීක් කලාපය වෙත ඇමෙරිකාව එල්ල කරන ලද මෙම අන්ධ ප්‍රහාර මඟින් හෝමුස් සමුද්‍ර සන්ධිය තුළ පවතින ඉරානයේ නිරපේක්ෂ ආධිපත්‍යය කිසිසේත්ම සෙලවිය නොහැකි බවය. නමුත් සාම ගිවිසුම් කඩ කරන පාර්ශ්වයන් වෙත අප එල්ල කරන ප්‍රහාර, මෙම මුහුදු මාර්ගය භාවිත කරන සෙසු සියලුම ජාත්‍යන්තර නෞකාවලට ආරක්ෂිත සහ පැහැදිලි ගමන් මාර්ගය කුමක්ද යන්න මැනවින් සිහිපත් කර දෙනු ඇත.” යනුවෙනි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සහ ලෙබනනයේ අස්ථාවර සටන් විරාම
සෙනසුරාදා දිනයේදී හෝමුස් සමුද්‍ර සන්ධිය තුළ තෙල් නැවකට එල්ල වූ ප්‍රහාරයට පෙර, පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීද සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, එය වත්මන් යුදමය තත්ත්වය මෙතරම් දරුණු ලෙස ඇවිළී යාමට ආසන්නතම නිමිත්ත විය. ලෝකයේ සමස්ත බොරතෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායූන් (LNG) සැපයුමෙන් හරියටම පහෙන් එකක් ප්‍රවාහනය කරනු ලබන මෙම උපායමාර්ගික මුහුදු සන්ධියේ පූර්ණ බලය තමන් සන්තක කර ගැනීමට ඉරානය දැඩි උත්සාහයක නිරත වේ.
යුද වාතාවරණය හේතුවෙන් මාස ගණනාවක් පුරා අවහිර වී තිබූ මෙම මුහුදු මාර්ගය මෑතකදී යළි විවෘත කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පැවතුණි.මෙම දරුණු මිලිටරි ගැටුම් ආරම්භ වූ දින සිට මේ දක්වා බොරතෙල් පිරවූ ටැංකි ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳ නෞකා සිය ගණනක් ගල්ෆ් කලාපය තුළ සිරවී (අවහිර වී) තිබේ.
කෙසේ වෙතත්, පසුගිය සති දෙකක කාලය තුළ එම නෞකා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටතට පැමිණීමට පටන් ගැනීමත් සමඟ, ලෝක වෙළෙඳපොළට බොරතෙල් සැපයුම එකවරම ඉහළ ගිය අතර, මේ හේතුවෙන් ලෝක බොරතෙල් මිල යුද්ධය ආරම්භ වීමට පෙර පැවති සාමාන්‍ය මට්ටම දක්වා ඉතා වේගයෙන් පහත වැටුණි.
වත්මන් තත්ත්වය හමුවේ වොෂින්ටන් පාලනය විසින් ඕමාන් වෙරළ තීරයට සමන්තරව දිවෙන දකුණු දිග මුහුදු තීරුවක් ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටී. එහෙත්, හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිත කරන නෞකාවලින් විශේෂ ආරක්ෂක ගාස්තු අය කිරීමට අපේක්ෂාවෙන් පසුවන ටෙහෙරාන පාලනයට අවශ්‍ය වී ඇත්තේ, ජාත්‍යන්තර නැව් සියල්ලම තම සෘජු පාලනය යටතේ පවතින ඉරාන මුහුදු සීමාවට අයත් උතුරු දිග මුහුදු මාර්ගය ඔස්සේම යාත්‍රා කරවීමයි.
ගල්ෆ් කලාපයේ පවතින මෙම ගැටුම්වලට අමතරව, ඉරානය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට තවත් බරපතළ චෝදනාවක් එල්ල කරයි. එනම්, සාම ගිවිසුමේ කොන්දේසිවලට අනුව ලෙබනනය තුළ පවතින සටන් විරාමය තිරසාරව පවත්වා ගැනීමට ඇමෙරිකාව දුන් පොරොන්දුව සිතාමතාම කඩ කර ඇති බවය.
ඉරානයේ සෘජු සහය ලබන හිස්බුල්ලා සන්නද්ධ සංවිධානය මුලිනුපුටා දැමීමේ අරමුණින් ඇමෙරිකාවේ සමීපතම මිත්‍රයෙකු වන ඊශ්‍රායලය විසින් පසුගිය මාර්තු මාසයේදී ලෙබනනය ආක්‍රමණය කරන ලදී. ඇමෙරිකා-ඉරාන සාම එකඟතාවයේ සෘජු පාර්ශ්වකරුවෙකු නොවන ඊශ්‍රායලය සහ ලෙබනන් රජය, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් වරින් වර සටන් විරාම ගිවිසුම්වලට එළඹුණු අතර, එවැනි නවතම සටන් විරාමයක් පසුගිය සිකුරාදා දිනයේදීද ප්‍රකාශයට පත් කෙරිණි.
එහෙත් මෙම එකඟතාවලින් බිම් මට්ටමේ ලැබී ඇත්තේ ඉතා සීමිත ප්රතිඵලයකි. ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ තමන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ලෙබනන් භූමියෙන් කිසිසේත්ම පසුබා නොයන බවය. අනෙක් අතට හිස්බුල්ලා සංවිධානය අවධාරණය කරන්නේ ඊශ්‍රායල හමුදා ලෙබනන් පසෙහි රැඳී සිටින තාක් කල් තමන් සතු කිසිදු ආයුධයක් බිම තැබීමට සූදානම් නොමැති බවය.
මෙම අර්බුදය හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම ෂියා මුස්ලිම් ප්‍රජාවට අයත් ලෙබනන් වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඊශ්‍රායල හමුදා අත්පත් කරගෙන සිටින තම උපන් බිම් සහ නිවාස වෙත යළි යාමට නොහැකි වී තිබේ. මේ හේතුවෙන්, පවතින අස්ථාවර සාම ගිවිසුම් කෙරෙහි පවතින දැඩි මහජන ක්‍රෝධය සහ විරෝධය මේ වන විට හිස්බුල්ලා සංවිධානය ඉක්මවා යමින් සමස්ත ලෙබනන් ෂියා සමාජය පුරාම ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.







