කපිල කේ හීනටියන –
පසුගිය ජූනි 17 වැනිදා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් දුරස්ථ ක්‍රමවේද ඔස්සේ කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේ දින 60ක් ඇතුළත ස්ථිර සාමයකට එළඹීමේ අරමුණ ඇතිවය. එහෙත් එම එකඟතාවල තීන්ත වියළීමටත් මත්තෙන්, හෝමුස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් දෙපාර්ශවයම සෘජු මිලිටරි ප්‍රහාර වෙත අවතීර්ණ වී ඇත. බටහිර ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ ඉරානයේ ‘ෆාර්ස්’ (Fars News) පුවත් සේවයේ නිල වාර්තා පිරික්සීමේදී මෙම අර්බුදයේ දේශපාලන සහ උපායමාර්ගික ස්ථාවරයන් පැහැදිලිව හඳුනාගත හැකිය.
-
‘එවර් ලව්ලි’ නෞකා ප්‍රහාරය සහ බටහිර මිලිටරි ප්‍රතිචාරය
බීබීසී ඇතුළු බටහිර මාධ්‍ය වාර්තාවලට අනුව, ගැටුමේ ආසන්නතම හේතුව වන්නේ බ්‍රහස්පතින්දා දිනයේදී හෝමුස් සමුද්‍ර සන්ධියේදී සිංගප්පූරු ධජය සහිත ‘එවර් ලව්ලි’ (MV Ever Lovely) නම් වෙළඳ නෞකාවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයයි. එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය (UKMTO) ප්‍රකාශ කරන්නේ නෞකාව ඕමානයේ දහිට් (Dahit) වරායට ගිනිකොණ දෙසින් නාවික සැතපුම් 7.5ක් දුරින්, තමන් නිර්දේශ කළ නිල මුහුදු මාර්ගයේ යාත්‍රා කරමින් තිබියදී මෙම ප්‍රහාරයට ලක්වූ බවය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය ඉරානය විසින් සිදු කළ “මෝඩ සටන් විරාම උල්ලංඝනයක්” ලෙස හඳුන්වමින් දැඩි ලෙස සිය කෝපය පළ කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ක්‍රියාත්මක වූ ඇමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය (CENTCOM), සිකුරාදා දිනයේදී ඉරානයේ වෙරළබඩ රේඩාර් පද්ධති මෙන්ම මිසයිල සහ ඩ්‍රෝන ගබඩා සංකීර්ණ ඉලක්ක කරමින් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ඍජුවම ඉරානයට අනතුරු අඟවමින් කියා සිටියේ, “ප්‍රචණ්ඩත්වයට පිළිතුර ප්‍රචණ්ඩත්වයම වනු ඇති” බවය.

-
“False Flag” චෝදනාව සහ ඉරානයේ ප්‍රතිප්‍රහාරාත්මක ස්ථාවරය
බටහිර මාධ්‍ය ඉරානය වෙත සම්පූර්ණ වැරැද්ද පටවද්දී, ඉරාන ‘ෆාර්ස්’ පුවත් සේවය පෙන්වා දෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍රයකි. ඉරාන විදේශ අමාත්‍යාංශය සහ විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අවධාරණය කරන්නේ තමන් කිසිදු විටෙක සිවිල් හෝ මිලිටරි නොවන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල නොකරන බවය. ඔවුන්ට අනුව, ‘එවර් ලව්ලි’ නෞකාව පර්සියානු ගල්ෆ් සමුද්‍රීය අධිකාරිය (PGSA) විසින් පැනවූ ආරක්ෂක රෙගුලාසි සහ නිල මුහුදු මාර්ග හිතාමතාම පැහැර හරිමින්, ඇමෙරිකාවේ සම්බන්ධීකරණය මත රහසිගත සහ අනවසර මාර්ගයක යාත්‍රා කර ඇත. ඉරානය සැක කරන්නේ තමන්ව කොටු කිරීම සඳහා බටහිර බලවතුන් විසින්ම මෙය සැලසුම්සහගත ‘කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්’ (False Flag Operation) ලෙස දියත් කරන්නට ඇති බවය.
ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ IRGC නාවික හමුදාව, බටහිර ආසියාවේ පිහිටි ඇමෙරිකානු මිලිටරි කඳවුරු වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරමින් කියා සිටියේ ඇමෙකාව තමන්ගේ පොරොන්දු කඩකිරීමේ පුරුද්ද යළිත් ප්‍රදර්ශනය කර ඇති බවය. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා සෙයියද් මොජ්තබා කමේනිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු මෙන්ම හිටපු IRGC අණදෙන නිලධාරියෙකු වන මොහ්සන් රෙසායි (Mohsen Rezaei) NewsNation නාලිකාවට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව නව යුද්ධයක් ඇරඹුවහොත් මෙවර ඔවුන්ට දරුණුතම “මිනිස් ජීවිත හානිය” අත්විඳීමට සිදුවන බවත්, ඉදිරි යුද්ධය පෙර පැවති යුද්ධවලට වඩා හාත්පසින්ම වෙනස් සහ බිහිසුණු එකක් වනු ඇති බවත්ය.
-
හෝමුස් සමුද්‍ර සන්ධියේ නීතිමය සහ ආර්ථික බලපොරය
මෙම සමස්ත ගැටුමේ මූලිකම ගැටලුව නිර්මාණය වී ඇත්තේ ලෝකයේ සමුද්‍රීය තෙල් ප්‍රවාහනයෙන් තුනෙන් එකකට වඩා සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලන අයිතිය මුල් කරගෙනය. පසුගිය පෙබරවාරි යුද්ධයෙන් පසු ඉරානය විසින් මෙම සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල මෙන්ම පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් ද අහස උසට නැංගේය.
ජූනි 17 එකඟතාව අනුව, දින 60ක් යනතුරු කිසිදු බදු අය කිරීමකින් තොරව නෞකාවලට නිදහසේ යාත්‍රා කිරීමට ඉරානය එකඟ වූ බව ඇමෙරිකාව පවසයි. ට්‍රම්ප් සිය සන්නිවේදන ගිණුම්වල සටහන් කර තිබුණේ ඉරානය විසින් නෞකාවලින් නීතිවිරෝධී ලෙස බදු සහ රක්ෂණ ගාස්තු අය කරන බවට තොරතුරු ලැබුණහොත් වහාම සාකච්ඡා නතර කරන බවය.
නමුත් ඉරාන පාර්ශවයේ ස්ථාවරය මීට වඩා දේශපාලනික සහ ස්වෛරීී මුහුණුවරක් ගනී. ඉරාන ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බගර් ගලිබාෆ් රාජ්‍ය මාධ්‍ය වෙත ඍජුවම කියා සිටියේ, “හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය කිසිසේත්ම යුද්ධයට පෙර පැවති තත්ත්වයට පත් නොවන” බවය. ඉරානය පෙන්වා දෙන්නේ දශක ගණනාවක් තිස්සේ මෙම උපායමාර්ගික මුහුදු මාර්ගයේ ආරක්ෂාව තහවුරු කළේ තමන් සහ ඕමාන් රාජ්‍යය පමණක් බැවින්, එහි ප්‍රතිලාභ ලබන ජාත්‍යන්තර වෙළඳ නෞකා එහි ආරක්ෂක සහ පාරිසරික පිරිවැය සඳහා දායක විය යුතු (බදු ගෙවිය යුතු) බවය. ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් කරිබ්අබාදි (Kazem Qaribabadi) X ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කළේ, වෙරළබඩ රාජ්‍යය වන ඉරානයේ සම්බන්ධීකරණයෙන් සහ ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුමේ 5 වැනි වගන්තියට අනුකූල වීමෙන් තොරව හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂිත ගමනාගමනය සහතික කළ නොහැකි බවය.
-
ජාත්‍යන්තර තත්ත්වය සහ මානුෂීය අර්බුදය
මෙම නව මිලිටරි ගැටුම් මාලාව හේතුවෙන් කලාපීය සාමය මෙන්ම ජාත්‍යන්තර නාවික මෙහෙයුම් ද දැඩි අවදානමකට ලක්ව ඇත. පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන්, හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී සිටින 11,000කට අධික ජාත්‍යන්තර නාවිකයන් පිරිස මුදාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාගර සංවිධානය (IMO) දියත් කිරීමට සැලසුම් කර තිබූ මානුෂීය මෙහෙයුම ද තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබේ. එසේම සෙනසුරාදා උදෑසන බහරේන් රාජ්‍යය වෙත ද ඉරාන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති අතර UKMTO ආයතනය පවසන්නේ තවත් තෙල් ප්‍රවාහන නැවකට (Tanker) හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බවය.
කෙසේ වෙතත්, බ්ලූම්බර්ග් ව්‍යාපාරික පුවත් සේවය සිකුරාදා වාර්තා කළේ මෙම උණුසුම් වටපිටාව මධ්‍යයේ වුව ද හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළඳ නෞකා ගමනාගමනය තවමත් සම්පූර්ණයෙන්ම අඩාල වී නොමැති බවය.
මෙම සමස්ත තත්ත්වය දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, බටහිර බලවතුන් ජාත්‍යන්තර මුහුදු නීති ඉදිරියට දමමින් තම ආධිපත්‍යය රැක ගැනීමට උත්සාහ කරන අතර, ඉරානය තම භූගෝලීය පිහිටීමේ වාසිය භාවිත කරමින් කලාපීය නව බලවතෙකු ලෙස නැඟී සිටීමට උත්සාහ කරන ආකාරයය.
අපට ඇති ප්‍රශ්නය ඇත්තේ වෙනත් තැනකය. දෙපාර්ශවයේම මෙම දැඩි මතවාදී ගැටුම හේතුවෙන් මැදපෙරදිග කලාපය යළිත් වරක් මහා පරිමාණ යුද්ධයක අද්දරටම පැමිණ තිබීමය. ඒ යුද්ධයේ පිරිවැය ඈත සාගර කොනක පිහිටි හුණුවක් වැනි දූපතක අසරණ මිනිස්සුන්ටත් ගෙවන්නට සිද්ධ වීමය.









