පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ පුද්ගලයෙකුට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය අද තීන්දු කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විශේෂ මහාධිකරණ විනිසුරුවරයා, වින්දිත දැරිය වෙත රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙස ද වැරදිකරුට නියෝග කළේය. මීට අමතරව රුපියල් 70,000ක දඩ මුදලක් ද අධිකරණය විසින් විත්තිකරුට පනවනු ලැබීය.
නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව පවරන ලද අධිචෝදනා පත්‍රවලට අදාළව පැවැති නඩු විභාගය සම්පූර්ණයෙන්ම අවසන් වීමෙන් පසුව මහාධිකරණය විසින් මෙම දඬුවම නියම කර ඇත.
මෙම අපරාධය සිදුව ඇත්තේ 2016 වසරේ ජූලි මාසයේදී තඹුත්තේගම ප්‍රදේශයේදීය. එම ප්‍රදේශයේදී සිදුවූ මෙම අතවරයට අදාළව දීර්ඝ විභාගයකින් පසු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීම නිසා අධිකරණය විසින් මෙම දැඩි දඬුවම නියම කිරීමට පියවර ගෙන තිබේ.
මේ නඩු තීන්දුව මේ සමාජය තුළ විශේෂ සලකුණක් තබයි. මේ හා සමාන නඩුවක් මේ වනවිට අනුරාධපුර මහාධිකරණයේ විභාග වෙමින් ඇත. රටේම අවධානය යොමුවන ඒ ළමා දූෂණ නඩුවේ විත්තිකරු හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන ය. මේ නඩුව සාධාරණව විභාග වනු දැකීම මේ රටේ අපේක්ෂාවය.
එය මේ රටේ නීතියේ ආධිපත්‍යය ස්තාවර වී තිබේ ද නැද්ද යන්න සම්බන්ධව නිශ්චිත පරීක්ෂාවක් කරනු ඇත.









