අද (22) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.
ඔහු පවසා ඇත්තේ තමන්ට රෝගී තත්ත්වයක් ඇති බවය. වසන්ත කරන්නාගොඩ අද අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණේ යෝෂිත රාජපක්ෂ නියමිත සුදුසුකම් වෙනස් කරමින් නාවික හමුදාවේ විධායක නිලධාරියෙක් ලෙස බැඳී රජයේ මුදල් අවභාවිතා කරමින් බ්‍රිතාන්‍ය රාජකිය නාවික හමුදාවේ පුහුණුව ලැබීමට අදාලව කරන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
වසන්ත කරන්නාගොඩ පසුගිය 16 වැනිදා ද අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණේය. කැඳවීමේ ලිපිය නොලැබුණ බව සඳහන් කරමින් ඔහු එදින අල්ලස් කොමිසමට පැමිණීම ප්‍රතික්ෂේප කළේය. අද තත්ත්වය වෙනස්ය. කැඳවීමේ ලිපිය ලැබී ඇත. එහෙත් කරන්නාගොඩ අසනීපෙනි.
විමර්ශනයට අදාලව යෝෂිත රාජපක්ෂ පසුගිය 17 වැනිදා අත් අඩංගුවට ගත්තේය. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර එදිනම ඇප මත නිදහස් වුනේය. ඒ ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මතය.









