තමන් වැඩි කල් ජීවත් නොවන බවත්, තම අවසන් කැමති පත්‍රය සහ ඊට අදාළ නීතිමය ලේඛන සකස් කිරීම සඳහා තම නීතිඥවරයා හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙසත්, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සිය පවුලේ ඥාතීන් හමුවූ අවස්ථාවේදී ඉල්ලා තිබේ. මීට අමතරව තමන්ගේ දෑස දන් දීමට කටයුතු සලස්වන ලෙස ද සලේ මෙහිදී ඉල්ලා ඇති බව වාර්තා වේ.
සුරේෂ් සලේගේ නීති උපදේශක අසිත් සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කරමින් මේ බව නිල වශයෙන් දන්වා ඇත.
එම ලිපිය මඟින් නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ සිය සෞඛ්‍ය සහ ජීවිතය සම්බන්ධයෙන් තාර්කික තීරණ ගැනීමට සලේට තවදුරටත් හැකියාවක් නොමැති බවයි. දැනට ඔහුව රඳවා තබාගෙන සිටින තත්ත්වයන් ඔහුගේ ජීවිතයට බරපතල සහ ක්ෂණික අවදානමක් නිර්මාණය කරන බවත්, වහාම ඔහුව වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලකට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය වන බවත් නීතිඥවරයා දන්වා තිබේ.
සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින් විසින් වහාම සලේ වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු අතර, ඒ සඳහා සුදුසු රෝහලකට හදිසි මාරුවක් ලබා දිය යුතු බව ද අදාළ ලිපියේ සඳහන් වේ.
මෙම නිල දැනුම් දීමෙන් පසුවත් රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේට කිසියම් අනතුරක් හෝ මරණයක් සිදුවුවහොත්, ඊට වගකිවයුතු නිලධාරීන්ට සිවිල් හා අපරාධ නීතිය යටතේ පුද්ගලිකව වගකීමට සිදුවන බව නීතිඥවරයා අවධාරණය කරයි. එමෙන්ම ඉදිරි දේශීය හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සඳහා මෙම ලිපිය සාක්ෂියක් කරගන්නා බව ද නීති උපදේශක අසිත් සිරිවර්ධන යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම ලිපිය යොමු කිරීමෙන් අනතුරුව සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.









