රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ හදිසි ප්‍රතිකාර සඳහා අද (07) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ඉකුත් පෙබරවාරි 25 වැනිදා අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ, රැඳවුම් නියෝග මත මේ දක්වා පසුවුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේය.
අමානුෂික වදහිංසා චෝදනා සහ උපවාසය
තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී අමානුෂික වදහිංසා සිදුකරන බව පවසමින් සුරේෂ් සලේ රඳවා සිටි කුටිය තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබුණි. පසුගිය සිකුරාදා රාත්‍රියේ ඔහු මෙම ආහාර වර්ජනය ආරම්භ කළේය.
මරණයම අපේක්ෂාවෙන් උපවාසයක් ඇරඹූ බව ප්‍රකාශ කළ සලේ සිය ඖෂධ භාවිතය ද නවත්වා දමා තිබිණි. මේ අතර, තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට සහ සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ දැනුම් ව ඔහුගේ නීතිඥයින්ට අද (07) දැනුම් දුන්නේ යැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ තත්ත්වය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමුකරමින් නීතිඥවරයා පවසා ඇත්තේ, මෙම අවසන් කැමැති පත්‍රය සැකසීම සඳහා නීතිඥයින්ට කඩිනමින් තමන් හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙස සලේ ඉල්ලා ඇති බවයි.
එම ලිපිය මඟින් සුරේෂ් සලේ පහසුකම් සහිත රෝහලකට යොමුකරන ලෙසත්, ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක් මඟින් සෞඛ්‍ය තත්ත්වය විනිශ්චය කරන ලෙසත් නීතිඥයින් ඉල්ලා තිබුණි.
බිරිඳගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
මෙවන් පසුබිමක සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ ද පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් යොමු කර තිබේ.
තම ස්වාමිපුරුෂයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී සිදුව ඇති බව පැවසෙන කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම් ඇතුළු කරුණු පිළිබඳ වහාම ස්වාධීන අපරාධ පරීක්ෂණයක් අරඹන ලෙස ඇය ඉල්ලා සිටියි.
සලේට ප්‍රමාණවත් තරම් ආහාර ලබානොදෙන බවත්, රාත්‍රි 10න් පසුව වැසිකිළි පහසුකම් භාවිත කිරීමට පවා අවසර නොමැති බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස තම සැමියාට දරුණු මලබද්ධ තත්ත්වයක් සහ විවිධ ශාරීරික සංකූලතා මතුව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිකුත් කළ වාර්තාවේද සඳහන් වන බව ඇය පෙන්වා දී තිබේ.







