උපේක්ෂා උඩුවැරැල්ල –
2026 අප්‍රේල් මස 26 වන දින ලන්ඩන් නුවරදී මුළු ලෝකයම මවිතයට පත් කරමින් ඉතිහාසගත සිදුවීමක් වාර්තා විය. ඒ කෙන්යානු සුපිරි ධාවන ශූර සෙබස්තියන් කිමරු සාවේ (Sabastian Kimaru Sawe) ලන්ඩන් මැරතන් තරඟය පැය 1යි, විනාඩි 59යි, තත්පර 30කින් නිමා කිරීමත් සමඟිනි.
මෙතෙක් මැරතන් ඉතිහාසයේ පැය දෙකකට අඩු කාලයකින් තරඟයක් නිමා කිරීමට කිසිදු ක්‍රීඩකයෙකු සමත්ව තිබුණේ නැත. සාවේ එම “නොහැකිය” යැයි සැලකූ සිහිනය සැබෑ කරමින් නිල තරඟයකදී පැය දෙකේ සීමාව බිඳ දැමූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් විය.
මීට පෙර ලෝක වාර්තාවට හිමිකම් කී දිවංගත කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) තබා තිබූ පැය 2:00:35ක වාර්තාව මිනිත්තු එකකට වඩා වැඩි කාලයකින් බිඳ දැමීමට සාවේ මෙහිදී සමත් වීම විශේෂත්වයකි. ඔහුට ඉතා ආසන්නයෙන් තරඟය නිමා කළ ඉතියෝපියාවේ යොමිෆ් කෙජෙල්චා (Yomif Kejelcha) ද පැය 1:59:41ක කාලයක් වාර්තා කරමින් පැය දෙකේ සීමාව පසු කිරීමට සමත් වූ නමුත්, ලෝකයේ පළමුවැන්නා ලෙස කිරුළ හිමි වූයේ සාවේට ය.
මැරතන් තරඟයක සම්මත දුර කිලෝමීටර් 42.195කි. සාවේ මේ ධාවනය නිම කළ කාලය අනුව තේරුම් ගත හැක්කේ මුළු තරඟය පුරාම සෑම කිලෝමීටරයක්ම මිනිත්තු 2යි තත්පර 50ක ස්ථාවර වේගයකින් දිව ගොස් ඇති විස්මිත ආකාරය ය.

-
සෙබස්තියන් සාවේගේ ළමා කාලය ගෙවුනු හැටි
සෙබස්තියන් කිමරු සාවේ ගේ මෙම ජයග්‍රහණය හදිසියේ සිදු වූ හාස්කමක් නොවේ. එය වසර ගණනාවක කැපවීම, වේදනාව සහ නොබිඳෙන ආත්මශක්තියේ ප්‍රතිඵලයකි.
සාවේ 1995 මාර්තු 16 වන දින උපත ලැබුවේ කෙන්යාවේ රිෆ්ට් නිම්නයේ උසින් පිහිටි ‘චියුක්ටා’ (Cheukta) නම් කුඩා ගම්මානයේය. මැටි බිත්තිවලින් සහ ගෙබිමෙන් තැනූ, විදුලිය පවා නොමැති ඉතා සරල නිවසක ඔහුගේ ළමා කාලය ගෙවී ගියේය.

ගොවිතැනින් ජීවත් වූ මේ ගැමියන්ගේ ප්‍රධාන ජල මූලාශ්‍රය වූයේ වර්ෂා ජලය ය. පායන කාලයේ දි පස අධික ලෙස වියළී ගිය දුහුවිල්ලෙන් යුක්ත විය. වර්ෂාව මේ භූමිය ගංවතුරෙන් යටකර දැම්මේය. සාවේ හැදී වැඩුනේ සොබා දහමත් මිනිසුන්ව පෙළා දමන කර්කශ පරිසරයක ය. එසේ වුවද, තම වගාබිම්වල බඩ ඉරිඟු වගා කරමින් පවුලේ සැම එකා මෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ බැවින් ඔවුන් කිසිදා කුසගින්නේ සිටියේ නැත.
සෙබස්තියන්ගේ පියා වූ සිමියොන් සාවේ ‘නැන්ඩි’ (Nandi) ගෝත්‍රයට අයත් බඩ ඉරිඟු ගොවියෙකි. නැන්ඩි ජනතාව යනු අතීතයේ සිටම කෙන්යාවේ යටත් විජිත පාලනයට එරෙහිව නොබියව නැගී සිටි අභිමානවත් ඉතිහාසයක් ඇති පිරිසකි. සිමියොන් දිනපතා කුඹුරේ වැඩ කරමින් තම පවුල පෝෂණය කිරීමට මහත් වෙහෙසක් ගත්තේය.
ඔහුගේ මව වූ එමිලි සාවේ ද දක්ෂ ධාවන ශූරියකවීමේ ලකුණු පෙන්වූ කාන්තාවකි. 1991 වසරේදී ඇය පාසල් මට්ටමේ මීටර් 100/200 කෙටි දුර ධාවන තරඟවලින් රන් පදක්කම් දිනාගත් තරුණියකි. ඇයට විශිෂ්ට ක්‍රීඩිකාවක වීමේ විශාල සිහිනයක් තිබුණද, අඩු වයසින් මවක වීමට සිදු වීම නිසා ඇගේ ක්‍රීඩා සිහින අතරමඟ නතර විය. එමිලි තම සැමියා සමඟ ගොවිතැන් කරමින් ජීවිතය ජය ගැනීමට වෙහෙසුණාය.

සිරිත් විරිත් සහ හැදී වැඩීම – සෙබස්තියන්ගේ සීයා වූ මූසා සිටෙනෙයි, මුල් කාලයේ කුලී වැඩ කළ අයෙකි. පසුව ඔහු සිය දෑතින්ම ලඳු කැලෑ එළිපෙහෙළි කරමින් අක්කර 150ක බඩ ඉරිඟු වගාබිමක හිමිකරුවෙකු බවට පත් විය. සෙබස්තියන් උපත ලබන්නට පෙර සීයා මියගිය ද, තමාගේම ශක්තියෙන් නැගී සිටීමේ එම ගුණය පවුල තුළ ඉතිරිව තිබුණි.
සෙබස්තියන්ගේ ජීවිතයේ වඩාත්ම වැදගත් පුද්ගලයා වූයේ ඔහුගේ මිත්තණිය වූ එස්තර් සිටෙනෙයි (කෝකෝ) ය. සෙබස්තියන් ඉතා කුඩා කාලයේ ඔහුගේ මව්පියන්ට වෙනත් ගොවිපළක වැඩ සඳහා බැහැරට යාමට සිදු වූ අතර, සෙබස්තියන් සහ ඔහුගේ වැඩිමහල් සහෝදරිය වූ විවියන් හැදී වැඩුණේ මිත්තණිය භාරයේය. ඇය සෙබස්තියන්ව රැකබලා ගත්තේ ඇගේම බාල පුතු ලෙසිනි. ආදරය, ඇදහිල්ල සහ විනය සමඟින් ඔවුන්ව ඇති දැඩි කළ ඇය, ඔවුන්ට කිසිදා තනිකමක් දැනෙන්නට ඉඩ නොදුන්නාය.
ඇය නිරන්තරයෙන් සෙබස්තියන්ට පැවසුවේ “සියල්ල හොඳින් සිදුවේවි” යන සරල වචන කිහිපයයි. වසර ගණනාවකට පසු සාවේ ඒ පිළිබඳව සිහිපත් කරන්නේ ඉතා සංවේදීවය. “ඇය මාව ඇති දැඩි කළා, ඇය නිතරම මා වෙනුවෙන් හිටියා,” ඔහු පවසයි. 2022 වසරේදී ඇය මෙලොව හැර ගියද, ඇය ලබා දුන් ශක්තිය තවමත් සාවේ සමඟ පවතී.
ගමේ සරල ජීවිතය සහ ධාවනයේ ආරම්භය – කිසිදු සුඛෝපභෝගී පහසුකමක් නොමැති වුවද, ඔවුන්ගේ නිවස භක්තියෙන් සහ උණුසුමෙන් පිරී තිබුණි. සෑම ඉරිදාවකම පල්ලියට ගිය සෙබස්තියන් එහිදී කෘතවේදීත්වය සහ හික්මීම ඉගෙන ගත්තේය.
කුඩා කල සිටම සෙබස්තියන්ට සෑම තැනකටම යාමට සිදු වූයේ දිව යමිනි. ජලය රැගෙන ඒමට, ගොවිපළේ වැඩවලට සහ පාසල් යාමට පවා ඔහු දිව ගියේය. ඔහුගේ පාසලට තිබුණේ විනාඩි 10ක පමණ ධාවන දුරකි. ඔහුගේ මව සහ මාමා පවසන පරිදි, එකල කිසිදු දරුවෙකු පාසල් යාමට ඇවිද ගියේ නැත; ඒ සැවොම දිව ගියහ. එකල සෙබස්තියන්ට එය ක්‍රීඩාවක් නොවූ අතර එය ඔහුගේ දෛනික ජීවන රටාව පමණක් විය.
සෙබස්තියන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ‘න්ඩොන්යොන්ගාරියා’ (Ndonyongaria) ප්‍රාථමික විද්‍යාලයෙන් ආරම්භ කළ අතර දෙවන ශ්‍රේණියේ සිට ඔහු සිය මිත්තණිය සමඟ පදිංචිව සිටියදී ‘බාර්සොම්බේ’ (Barsombe) ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් විය. ඔහු පන්තියේ කැපී පෙනෙන දක්ෂතම ශිෂ්‍යයා නොවූවත්, ඉතා විනයගරුක සහ ගෞරවනීය ලෙස කටයුතු කළ ශිෂ්‍යයෙකු විය.

සැඟවුන දක්ෂතාවය පාසලේ දී හඳුනා ගත් ගුරුවරයා – ඔහුගේ පාසල් ගුරුවරයෙකු වූ ජූලියස් කෙමෙයි (Julius Kemei) සාවේගේ වේගය මුල් කාලයේදීම හඳුනා ගත්තේය. මුලදී සාවේ තරමක් ලැජ්ජාශීලී දරුවෙකු වූ අතර, පාසලේ පැවැත්වෙන ධාවන තරඟවලින් මඟහැරීමට පාසල් මුළුතැන්ගෙය පිටුපස සැඟවී සිටි අවස්ථා ද තිබුණි.
එහෙත් කෙමෙයි ගුරුවරයා ඔහුව දිරිමත් කළේය. “මේ දරුවා ඉතා ලැජ්ජාශීලීයි… නමුත් මම ඔහුට පසුබැසීමට ඉඩ දුන්නේ නැහැ. ධාවනය කියන්නේ දක්ෂතාවයක් විතරක් නෙවෙයි, ඒක ඔයාගේ වාසනාව වගේම ඔයාගේ අනාගතය කියලා මම ඔහුට පැවසුවා,” යනුවෙන් ගුරුවරයා පසුව සිහිපත් කළේය.
ඒ අනුව පාසල් අතර ධාවන තරඟ වලට සහභාගී වූ සාවේ මීටර් 800 සහ 1500 වැනි මධ්‍යම දුර ධාවන තරඟ වලින් ප්‍රාදේශීය මට්ටමේ ජයග්‍රහණ ලැබීය. මීට අමතරව ඔහුගේ මාමා කෙනෙකු වූ හිටපු උගන්ඩා මීටර් 800 වාර්තා ලාභී ඒබ්‍රහම් චෙප්කිරුක් (Abraham Chepkirwok) සාවේට විශාල ආදර්ශයක් විය. කුඩා ජෙනරේටරයකින් ක්‍රියාත්මක වූ රූපවාහිනියකින් සිය මාමා දිව යන අයුරු බලා සිටි සෙබස්තියන්, කවදා හෝ දිනක තමා ද එලෙස දිව යන බවට රහසින් සිහින මැවීය.
සිය මවට අහිමි වූ ක්‍රීඩා සිහිනය, සීයා මහන්සියෙන් උපයාගත් වගාබිම් සහ මිත්තණියගේ අපිරිමිත ආදරය හා විශ්වාසය ඔහු තුළ ජීවත් විය. ඔහුට ධාවනය යනු විනෝදාංශයකට වඩා තමාව ඇති දැඩි කළ මිනිසුන්ට ගෞරවයක් ලබා දිය හැකි මාවතක් විය.
කෙන්යානු ගම්මානයක සාමාන්‍යයෙන් මුහුණ දෙන නියඟය, ගංවතුර සහ දෛනික ගොවිතැන් කටයුතු වල දුෂ්කරතා මැද වුවද ඔවුන් සිය ‘නැන්ඩි’ අනන්‍යතාවය පිළිබඳව මහත් අභිමානයකින් පසු විය. ‘පෝලේ පෝලේ’ (Pole pole – එනම් හෙමින් හෙමින්) යනුවෙන් හඳුන්වන ඉවසීමෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීමේ උතුම් ගුණය ඔහු ඉගෙන ගත්තේ සිය මිත්තණියගෙනි. ශ්‍රේෂ්ඨත්වය යනු එක් රැයකින් ලැබෙන්නක් නොව, ඉවසීමෙන් සහ කැපවීමෙන් දිනෙන් දින ගොඩනඟා ගත යුත්තක් බව ඇය ඔහුට කියා දුන්නාය.
සෙබස්තියන් සාවේ නම් ලෝක ශූරයාව නිර්මාණය කළේ මේ සරල පරිසරයයි. ආදරණීය නිවස, බඩ ඉරිඟු යාය මැදින් දිනපතා දිව ගිය මාවත් සහ මිත්තණියගේ සැනසිලිදායක හඬ ඔහුගේ අනාගත ජයග්‍රහණ වල බීජ බවට පත් විය. කෙන්යානු උස්බිම් වල ගත කළ ඒ සරල ළමා කාලය ඔහුගේ අසිරිමත් ගමනේ සැබෑ ආරම්භය ගොඩනගා දුන්නේය.

-
පාසල් ගමන නිමා වූ පසු ලෝක කිරුළ දක්වා ආ කටුක මාවත
2015 වසරේදී ද්විතීයික අධ්‍යාපනය අවසන් කළ සෙබස්තියන් සාවේට මුහුණ දීමට සිදු වූයේ අතිශය දුෂ්කර කාලපරිච්ඡේදයකටය. අනෙකුත් බොහෝ කෙන්යානු තරුණයන් මෙන්ම වෘත්තීය ධාවකයෙකු වීමේ සිහිනය ඔහු තුළ තදින් පැවතියද, එම මාවත බාධක රැසකින් ගහණ විය. සාමාන්‍ය පාසල් ක්‍රීඩකයෙකුගේ සිට ලෝක වාර්තා ලාභියෙකු දක්වා ඔහු පැමිණි ගමන කිසිසේත්ම පහසු එකක් වූයේ නැත.
එහෙත් සිය මව පාසල් වියේදී දක්ෂ කෙටි දුර ධාවිකාවක වීම සහ මාමා වූ ඒබ්‍රහම් චෙප්කිරුක් මීටර් 800 ඉසව්වෙන් උගන්ඩා ජාතික වාර්තාව තැබූ සාර්ථක ධාවකයෙකු වීම සාවේට සිය අනාගත තෝරා ගැනීම සඳහා විශාල ආත්ම විශ්වාසයක් ඉපදවූ උත්තේජනයක් විය. එමෙන්ම පාසලට යාමට සහ වගාබිම්වල වැඩට යාමට දිනපතා දිවීමට සිදු වීම නිසා ඔහු තුළ ස්වභාවිකවම ධාවන ශක්තිය ගොඩනැගී තිබුණි. මධ්‍යම දුර ධාවකයෙකු ලෙස ඔහු තුළ තිබූ විභවය අවට සිටියෝ හඳුනා ගත්හ. දිළිඳු ගොවි පවුලක උපන් සෙබස්තියන්ට, තම පවුලේ පීඩිත ජීවිතය වෙනස් කර ඔවුන්ට යහපත් අනාගතයක් උදා කර දිය හැකි එකම මාවත වූයේ ක්‍රීඩාවය. ඔහු තුළ ඒ බලාපොරොත්තුව පිබිදී තිබිණි.
ඒ ගමනේ දී සාවේගේ අධිෂ්ඨානය දැඩි ලෙස පරීක්ෂාවට ලක් වූ අවස්ථා කිහිපයක් විය. ඔහුගේ ගමන අඩාල කරමින් විවිධ ශාරීරික ආබාධ කිහිපයකටම ඔහුට මුහුණ දීමට සිදු විය. එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා තරඟ අවලංගු වීමත් සමඟ පුහුණුවීම් දුෂ්කර වූ අතර මූල්‍යමය වශයෙන් ද ඔහු දැඩි ලෙස අසරණ විය.
මේ අතර ඔහුගේ දෙමාපියන් ඇතුළු සමීප ඥාතීන් නිතරම ඉල්ලා සිටියේ මෙම “දිවීමේ ක්‍රීඩාව” නතර කර ස්ථිර රැකියාවකට යොමු වන ලෙසය. ඔහුගේ සහෝදර සහෝදරියන් ඒ වන විටත් රැකියාවල නිරතව සිටියහ. පවුලේ සබඳතා මාර්ගයෙන් ඔහුට පොලිස් සේවයේ රැකියාවක් ලබා ගැනීමට අවස්ථාව තිබුණි. මේ වනවිට සාවේ විවාහ දිවියට පැමිණ සිටියේය. ඔහු පියෙකු වීමට ආසන්නව සිටි බැවින් පවුලට ස්ථාවර ආදායමක් ලබා දීමේ දැඩි පීඩනයකට ඔහු ලක්ව සිටියේය. ක්‍රිඩාව අත් හැර පිරිමියෙකුගේ වගකීම ඉටු කිරීමට පැමිණි සමාජ බලපෑම තියුණු වී තිබිණි.
සියලු පීඩා දරා ගනිමින් ඔහු වසර ගණනාවක් ලොව සුපිරි ධාවකයන් පුහුණු වන ‘ඉටෙන්’ (Iten) නගරයේ පුහුණුවීම් කළේය. එහෙත් ඔහුට මුල් කාලයේ කැපී පෙනෙන ජයග්‍රහණ හිමි නොවීය. ඕනෑම අයෙකු අධෛර්යයට පත්වන මෙවැනි වටපිටාවක වුවද සාවේ සිය උත්සාහය අතහැරියේ නැත.
නිවැරදි මඟ පෙන්වන්නෙකු හමුවීම – සාවේගේ ජීවිතයේ සැබෑ වෙනස ඇති වූයේ 2020 වසරේදීය. ඔහුගේ මාමා වූ ඒබ්‍රහම් චෙප්කිරුක් සිය මිතුරෙකු වූ ඔලිම්පික් පදක්කම් ලාභී අබෙල් මුතායිට දුරකථන ඇමතුමක් ලබා දෙමින් සෙබස්තියන් ගැන පවසන ලදී. ඒ අනුව ඉතාලි ජාතික ප්‍රධාන පුහුණුකරු ක්ලෝඩියෝ බෙරාඩෙලි යටතේ ක්‍රියාත්මක වන ‘2Running Club’ වෙත සම්බන්ධ වීමට ඔහුට අවස්ථාව ලැබුණි.

බෙරාඩෙලි සෙබස්තියන්ගේ දක්ෂතාව හඳුනාගෙන ඔහුව ධාවන පථයෙන් ඉවත් කර දිගු දුර මාර්ග ධාවන තරඟ (Road races) සඳහා යොමු කළේය. විද්‍යාත්මක පුහුණු ක්‍රමවේද හරහා කෙටි මාවත් සොයනු වෙනුවට පියවරෙන් පියවර සෙබස්තියන්ව ගොඩනැංවීමට බෙරාඩෙලි කටයුතු කළේය. වසර 20ක සිය පුහුණුකරු ජීවිතය තුළ දුටු සුවිශේෂීම සහ කැපවීමෙන් යුතු ක්‍රීඩකයා සාවේ බව ඔහු පසුව පවසා තිබුණි.
ජාත්‍යන්තර තලයට පිවිසීම සහ අනුග්‍රහය – නිවැරදි පුහුණුවත් සමඟ සෙබස්තියන්ගේ ගමන අතිශය වේගවත් විය. 2022 වසරේ සිට ප්‍රධාන තරඟ ජයග්‍රහණය කිරීමට පටන් ගත් ඔහු 2023 වසරේ ලෝක අර්ධ මැරතන් ශූරතාව දිනා ගත්තේය.
ඒ සමගම ලෝකපූජිත ඇඩීඩාස් (Adidas) ආයතනය ඔහුගේ ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත් විය. ඔවුන් ඔහුට අතිනවීන පාවහන් සහ අනෙකුත් පහසුකම් ලබා දුන්හ. අනුග්‍රාහක ආයතනයේ සහය මත තහනම් උත්තේජක පරීක්ෂණ රාශියකට ස්වේච්ඡාවෙන්ම පෙනී සිටිමින් තමා “පිරිසිදු” ක්‍රීඩකයෙකු බව ලොවට තහවුරු කිරීමට ඔහුට හැකි විය.
2024 වැලෙන්සියා මැරතන් තරඟයේදී (පැය 2:02:05) තැබූ අතිවිශිෂ්ඨ වාර්තාවත් සමඟ ඔහු ලොව හොඳම මැරතන් ධාවකයන් අතරට එක් විය. 2025 ලන්ඩන් මැරතන් තරගය ජයග්‍රහණය කළ සාවේ 2025 වසරේදීම බර්ලින් මැරතන් තරගය පැය 2:02:16 කින් නිම කරමින් ජයග්‍රහණය කළේය.
මේ ජයග්‍රහණ උන්නතිකාමී මිනිසෙකුගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රකාශනයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 2000ක් උසින් පිහිටි කප්සබෙට්හි අතිශය දුෂ්කර පුහුණුවීම් වල නිරත වන සාවේ, සතියකට කිලෝමීටර් 200 සිට 241 දක්වා දුරක් ධාවනයේ යෙදෙයි. ඔහුගේ මෙම අසාමාන්‍ය ශක්තියේ රහස සහ පුහුණු ක්‍රමවේද වෙනම කියවිය යුත්තකි.

-
සාමාන්‍ය මිනිසෙකුට කළ නොහැකි සාවේගේ අතිශය දුෂ්කර පුහුණුව
සෙබස්තියන් සාවේගේ මෙම අදහාගත නොහැකි ජයග්‍රහණය පිටුපස ඇත්තේ ලොව කිනම් හෝ ක්‍රීඩකයෙකුට ඔරොත්තු දිය නොහැකි තරම් ප්‍රබල පුහුණු රටාවකි. ඔහු සිය පුහුණුවීම් සිදු කරන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 2000ක් පමණ උසින් පිහිටි කප්සබෙට්හිදීය. එහිදී ඔහු සතියකට කිලෝමීටර් 200 සිට 241 දක්වා (සැතපුම් 150) අතිවිශාල දුරක් ධාවනයේ යෙදෙයි. සාවේගේ පුහුණු උපදේශකයා හෙළි කරන පරිදි ඔහුගේ දින 10ක පුහුණු චක්‍රය මෙසේය:
- දිගු දුර ධාවනය (Long runs): විශාල තරඟයකට පෙර ඔහු කිලෝමීටර් 40ක පමණ දුරක් දෙවතාවක් පමණ දිව යයි. මෙය බොරළු පාරවල් වලින් ආරම්භ කර තාර පාරවල් වලින් අවසන් කිරීම විශේෂත්වයකි.
- දිනකට දෙවතාවක් ධාවනය: ඇතැම් දිනවල උදෑසන කිලෝමීටර් 20ක් ද, සවස කිලෝමීටර් 10ක් ද ඔහු දිව යයි.
- වේගය පාලනය (Speed work): විවිධ වේගයන්ගෙන් දිවීමේ පුහුණුව (Fartlek), කිලෝමීටර් 18-25 අතර පරාසයක දිගු අන්තර පුහුණුවීම් සහ මීටර් 80ක පමණ කඳු සහිත බෑවුම්වල 12-25 වතාවක් දිවීමේ අභ්‍යාස ඔහු සිදු කරයි.
- ශරීරය සුවපත් කිරීම: පුහුණුවීම් වලදී සිරුරට දැනෙන දැඩි වෙහෙස නිවා ගැනීමට ඔහු ලිහිල් ධාවන (Recovery runs) අභ්‍යාස වල නිරත වන අතර, කාය වර්ධන අභ්‍යාස, ශරීරයේ මධ්‍යම පේශි (Core exercises) සහ කෙණ්ඩා ශක්තිමත් කිරීමේ ව්‍යායාම ද සිදු කරයි.

සාවේ සිය ආහාර වේල සඳහා ඉතා සරල කෙන්යානු ආහාර තෝරා ගනී. අල, බඩ ඉරිඟු සහ කිරි ඔහුගේ ප්‍රධාන ආහාර වේ. තරඟයකට පෙර ඔහු මී පැණි සමඟ පාන් අනුභව කරන අතර, තරඟය අතරතුර උපරිම ශක්තිය ලබා ගැනීමට විශේෂිත වූ ශක්ති ජනක පාන සහ ජෙල් වර්ග (Maurten gels) භාවිතා කරයි. පසුගිය කාලයේ කොන්දේ ආබාධ සහ අස්ථි බිඳීයාම් (Stress fracture) වැනි බරපතල තුවාල වලට මුහුණ දුන්න ද, ඔහු ඒ සියල්ල ජයගෙන වඩාත් ශක්තිමත්ව පෙරමුණට පැමිණියේය.
-
කතාන්දරයකින් ඔබ්බට ගිය සැබෑ වීරයා
ඓතිහාසික ලන්ඩන් මැරතන් තරගයෙන් පසු සාවේ මෙසේ කීවේය.
ආත්තම්මා කිව්වා වගේ සියල්ල හොඳින් කෙළවර වුනා…”
සවේගේ කතාව තවමත් ඉතිහාසය ලියමින් පවතින එකකි. ඒ ස්වර්ණමය කතාවේ මියුරු කෙළවර පිළිබඳ ලෝකයක් සිහින දකිමින් ඇත. ඒ වෙනුවෙන් ඔහු මේ මොහොතවනවිටත් සිදුකරන කැපකිරීම විශාලය. සිය පුහුණු කඳවුරේ සරල ජීවිතයක් ගත කරන ඔහුට තම බිරිඳ සහ දරුවන් දැකගත හැක්කේ මසකට දෙවතාවකි. පුහුණු කාලසටහන ඒ තරම් කාර්යබහුලය. විනයක් සහිතය.

ඉතිහාසය වෙනස් කළ මේ විශ්මය ජනක ධාවකයා ක්‍රීඩා පිටියෙන් බැහැරව ඉතා නිහතමානී පුද්ගලයෙකි. අද ලෝකයම ඔහු වෙනුවෙන් ඔල්වරසන් දෙන විට පවා, සෙබස්තියන්ට සිය චියුක්ටා ගම්මානයේ රතු පස සහ මැටි බිත්ති සහිත නිවස මෙන්ම මිත්තණිය පැවසූ “සියල්ල හොඳින් සිදුවේවි” යන වචන කිහිපය මත ආඩම්රයෙන් ජිවත්වන අයුරු දකිමු. මේ කතාවේ ලස්සනම කෑල්ල එය බව සිතමි.







