හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සැප්තැම්බර් 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
අද ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩු දෙකක් සම්බන්ධව අධිකරණ කටයුතු සිදුවෙමින් තිබිණි. මුලින්ම ඔහු ඉදිරිපත් වන්නේ කොළඹ මහාධිකරණයේ පැවැති නඩුකරයටය.
එහිදී කොළඹ මහාධිකරණයේ අධිකරණයයේ අවධානයට ලක්වී තිබුණේ රාජිත සේනාරත්න මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ වෙරෙන්තුකරුවෙක් වී සිටීමය.
අදාළ කරුණු සැළකිල්ලට ගත් මහාධිකරණය, තම අධිකරණය හමුවේ ඇති නඩුවට ඉදිරි දිනයක් නියම කරමින් රාජිත සේනාරත්න රිමාන්ඩ් භාරයට ගෙන බන්ධනාගාර නිලධාරීන් හරහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
අනතුරුව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිනි. එහිදී අධිකරණය රාජිත සේනාරත්න ලබන 09 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.







