-
සෝලා ව්‍යාපෘතිය කරන්න… සංවර්ධන කටයුතු කරන්න… අලි මිනිස් ගැටුම උග්‍ර කර අපේත් අසරණ වන සතුන්ගෙත් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා… ගොවි සංවිධාන රජයට දන්වති.
හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතට යාබද කැලෑ කොටස මහා පරිමාණයෙන් හෙළිකර එම ඉඩම් සූර්‍ය පැනල් ඉදිකිරීම සඳහා සමාගම් කිහිපයකට ලබාදීමට විරෝධය පළ කරමින් වලව මයුරපුර කොට්ඨාසයේ ගොවි සංවිධාන නියෝජිතයින් ඊයේ (04) හම්බන්තොට මයුරපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ පැවති කන්න රැස්වීම වර්ජනය කර විරෝධතාවයක නිරත වූහ.
මෙහිදී අදහස් දක්වමින් මයුරපුර කොට්ඨාස සභාපති ඩඩබ්ලිව්.ඒ.ගයාන් මනෝජ් මෙලෙස පැවසීය.
වල්සපුගල හා කරුවලගස්වැව දැනට ඉතිරි වෙලා තියෙන කැලෑ ටික නිලධාරීන් විසින් සෝලා බලාගාර ඉදිකිරීමට ලබා දී තිබෙනවා. අපි සෝලා පැනල් ඉදිකරනවාට විරෝධතාවයක් නැහැ. අපි කියන්නේ මේ කැලෑ ටික කපන්න එපා කියලා විතරයි. මොකද එහෙම උනාම ඒකෙ ඉන්න අලි ඇතුළු වන සතුන් ගම් වදින්න පටන් ගන්නවා. එහෙම උනාම එහි බලපෑම තියෙන්නේ මේ ගම්වල ඉන්න ගොවි ජනතාවටයි
.මේ වෙනකොටත් අක්කර පනහක් විතර එක්තරා සමාගමක් විසින් සෝලා ඉදිකිරීම සඳහා කැලෑ හෙළි කර තිබෙනවා. ඊට අමතරව තවත් සමාගම් දාහතකට පමණ මෙහි ඉඩම් වෙන්කර දී තිබෙනවා.වන අලින්ට හා වන සතුන්ට ඉන්න ඉතිරි වෙලා තියෙන මේ පුංචි කැලෑ කොටසත් මේ විදියට හෙළි කලාම ඒ සතුන්ට යන එන මගක් නැති වෙනවා. අවසානයේ ඒ සත්තු ගම් වදින්න පටන් ගන්නවා.
අපි කියන්නේ සෝලා බලාගාර ඉදිකරනවා නම් කැලෑ ටික කපන්නේ නැතුව, වන සතුන්ට හානියක් නොවන පරිදි ඒවා කණු මත හෝ වෙනත් ක්‍රමවේදයකට සිදු කරන්න කියලයි. එහෙම නැතුව මේ වන විට සෝලා බලාගාර ඉදිකිරීම සඳහා යැයි පවසමින් යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන ඉවක් බවක් නොමැතිව කැලෑ සුද්ද කරමින් තිබෙනවා.
කන්න රැස්වීමේදී අපි මේ පිළිබඳව මයුරපුර මහවැලි කාර්යාලය කොට්ඨාස කළමනාකාරතුමාගෙන්ද විමසීමක් කළා. හැබැයි එම නිලධාරීන් කිසිවෙකුත් මේ සම්බන්ධයෙන් කිසිදු වගකීම් සහගත ප්‍රකාශයක් කරන්නේ නෑ. මේ කටයුත්ත නතර කරන බවට ඔවුන් පොරොන්දු වෙන්නෙත් නෑ. ඒ නිසා වලව මයුරපුර කලාපයට අයත් ගොවි සංවිධාන අසූ හතරක ගොවි සංවිධාන සභාපතිත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කන්න රැස්වීම අද දවසේදී අපි වර්ජනය කලා.
අපි බලධාරීන්ට කියනවා වහාම කඩින මෙන් මේ සඳහා විසඳුමක් ලබා නොදුනහොත් වලව වම් ඉවුර දකුණු ඉවුර ඇතුළු සියලු ගොවි සංවිධාන නියෝජිතයන් හා එක්ව දැවැන්ත විරෝධතාවයක් පවත්වනවා.” සභාපතිවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ වලව මහසෙන් ගොවි සංවිධානයේ සභාපති චන්දන කොළඹගේ මෙලෙස පැවසීය.
සෝලා බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් අපේ කිසිදු විරෝධතාවයක් නෑ. සංවර්ධන ව්‍යාපෘති ඇතිවෙන්නට ඕනේ. ඒ ගැන අපේ විවාදයක් නෑ. අපි කියන්නේ සෝලා බලාගාර ඉදිකරනවා නම් ඒවා නිසි ක්‍රමවේදයකින් යුක්තව ඉටු කරන්න කියලා විතරයි. මේ වන සතුන්ට ඉන්න තියෙන කැලෑ ටික ඩෝසර් දාලා හෙළි කරාට පස්සේ මේකේ ඉන්න වන අලි ඇතුළු වන සතුන් ඔක්කොම ගම් වදින්න පටන් ගන්නවා. එහෙම වුණාට පස්සේ එහි දැඩි බැලපෑම ඇති වන්නේ මේ ඉන්න ගොවි ජනතාවටයි.
ඒ නිසා වහාම මේ කැලෑ හෙළි කිරීම නවතලා දෙන්න කියලයි අපි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලන්නේ යැයි.







