-
වැරදි නිවැරදි කරන්න ගිය විට ඇතිවන ගැටලුවල තරම ගැන ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කියයි…
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙතෙක් ලබා දුන් සියයට 3ක වට්ටම් මුදල ඉවත් කිරීමට ගත් තීරණය හේතුවෙන් ඉන්ධන ඇනවුම් කිරීමෙන් වළකින ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.
මේ ප්‍රකාශයත් සමග මේ වනවිට රට පුරා සෑම ඉන්ධන පිරවුම්හලකම වාගේ තෙල් පෝලිම්ය. මිනිස්සු කලබල වී සිටිති.
එහෙත් ඛණිතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ රටේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත්, ඉන්ධන පිරවුම්හල්වලින් ඇනවුම් නොකරන බවට මෙතෙක් සංස්ථාව වෙත දැනුම් දී නැති බවත්ය.
මේ හේතුවෙන් ජනතාව කළබල නොවන ලෙසත් අවශ්‍ය ලෙස ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජරුණා කීවේය.
එමෙන්ම ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලබා දුන් සියයට 3ක වට්ටම ඇත්ත වශයෙන්ම තෙල් සංස්ථාවට තුළ මෙතෙක් කාලයක් සිදුවෙමින් පැවති නීති විරෝධී කටයුත්තක් බව අධිකරණ නියෝගයකින් පෙන්වා දී ඇති බවය. එම තීරණය අභියෝගයට ලක් කරමින් ඉහළ අධිකරණවලින් ලබා ගත් සියලුම වාරණ නියෝග ඉවත දමා ඇති හෙයින් කෝප් කමිටුවේ ද නිර්දේශ පරිදි රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරද්දී බෙදුම්කරුවන් විසින් වර්ජනයක් සිදුකිරීමට උත්සාහ කරන්නේ නම් එය බරපතල ගැටලුවක් බවය.
සභාපතිවරයා මාධ්‍ය ඉදිරියේ මෙසේ ද පැවසුවේය.
මේ වනවිට බෙදුම්කරුවන් සඳහා ලබා දෙන සියයට 3 වට්ටම අනීතිකයි.
2022 මාර්තු 10 නිකුක් තළ චක්‍රලේඛයට අනුව ගත්තොත් දැනට ගෙනෙන මුදල අනීතිකයි. ඒකේ පැහැදිලිවම තියනවා තෙල් මිල වැඩි වෙනකොට ඒ කියන්නේ ඩීසල් සඳහා මිල රුපියල් 121ට වැඩි උනොතින් ඒකට අදාල සියයට 3ක ගණන තමයි ගෙවන්නේ.
පෙට්‍රල් සඳහා ඒ මිල රුපියල් 161ක්.
එහෙම ගත්තොත් ඩීසල් ලීටරයකට ඒ අයට වට්ටම හැටියට හිමි විය යුත්තේ රුපියල් 3.63ක්. පෙට්රල්වලට හිමි විය යුත්තේ රුපියල් 4.86ක්.
නමුත් ගිය මාසේ සියයට 3ට ගණනය කළොත් ඩීසල්වලට ඒ අයට හිමි වෙනවා රුපියල් 8.58ක්. පෙට්රල්වලට හිමි වෙනවා රුපියල් 9.14ක්.
අපි පෙට්‍රල් ඩීසල් ගත්තොත් ඒ මිල. සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 ගත්තොත් ඊටත් වඩා වැඩි මුදලක් හිමි වෙනවා.
මේක අනීතිකයි කියලා කියන්නේ අපි විතරක් නෙමෙයි. සියයට 3ක වට්ටමක් ලබා දීලා තිබුණා. 2022 දි අසාමාන්‍ය විදිහට තෙල් මිල වැඩි වුනා. ඒ මිල වැඩිවුනාට පස්සේ සියයට 3ක් වුනාම ඒක රුපියල් 14 -15ට ගියා.
2022 චක්‍රලේඛයට අනුව ඒ අයට හිමි විය යුත්තේ රුපියල් 121ට වඩා ඩීසල් වැඩි වුනොතින් ඒකට හිමි 3% විතරයි. ඒ කියන්නේ 3.63 විතරයි.
මේ සිද්ධ වුනේ තෙල් සංස්ථාවේ වරදක්. අපේ සිස්ටම් එකේ හරියට මේක හරිගස්සලා තිබ්බා නම් 3.63ට වඩා ඒ අයට යන්නේ නෑ. නමුත් තෙල් සංස්ථාව විසින් ඒ කාලේ වෙච්චි වරදක් හින්දා ඒක සිස්ටම් එකේ නිවැරදි කළ නැති හින්දා ඒක රුපියල් 14ට 15ට ගියා.
ඊට පස්සේ මේක දිගටම ඕන කියලා උසාවි ගියා. දිස්ත්‍රික් උසාවියෙ නඩුවක් දාලා තහනම් නියෝගයක් ලබා ගත්තා. ඒ තහනම් නියෝගය නිසා 3% ඒ විදිහටම අරගෙන ගියා අර අපර් කැප් එක නැතිව. ඒ නඩුව ඊට පස්සේ පරාද වුනා.
නඩුව පාරද වුනාට පස්සේ නැවත වරක් මේක ක්‍රියාත්මක කරන්න යනකොට ඒ අය ඇපිල් කෝට් එකට ගියා. ගිහින් ආපහු නඩුවක් දාලා තහනම් නියෝගයක් ගත්තා. අරන් අර ආපසු රුපියල් 10, 15 මුදල් ලබා ගත්තා.
මේ අතරතුර ආණ්ඩුව විගණනයක් කළා රටේ නීතියට අනුව. ඒ ඔඩිට් රිපෝට් එකේ පැහැදිලිව තියනවා අනීතික විදිහට රුපියල් බිලියන 35.49ක් ඒ වෙනකොට ජනතාවගෙන් අරන් බෙදුම්කරුවන්ට ලැබිලා තියනවා. ඒක වහාම නිවැරදි කරන්න ඕන කියලා.ඒක තමයි කෝප් එකට ගියේ.
කෝප් එකට ගිහින් බොරු කිව්වා කියලා. කොප් එකට ගිහින් බොරු කරන්න බෑ. ඔඩිට් රිපෝට් එකක් ගිහින් තියනවා. ඒ ඔඩිට් රිපෝට් එක තමයි කෝප් එකේ ප්‍රශ්න කරන්නේ. එතනදි රජයෙ විගණන කාර්යාලයෙන් කියන්නේ වැරදි විදිහට රුපියල් බිලියන 35ක් ගිහ්න් තියනවා. ඒක වහාම නිවැරදි කරන්න කියලා.
එහෙම ගත්තට පස්සේ රටේ නීතිය. ඒ නීතියට අනුව අපි කටයුතු කරන්න ඕන.
ගැටලුව මතුවෙන්නේ 2024.08.30 ආපහු ඇපිල් කෝට් එකේ නඩුවෙන් දීලා තියන තහනම් නියෝගයත් ඉවත් කරනවා. ඒ ඉවත් කරද්දි පහැදිලිවම කියනවා ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් බෙදුම් කරුවන් අතරට ගිහින් තියනවා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 12 සහ 27 වැනි වගන්ති උල්ලංඝණය කරන නිසා වහාම මේ තහනම් නියෝගය ඉවත් කරනවා කියලා. එහෙම කියලා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට කියනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා.
ආපසු නැවත වතාවක් මේ අය තහනම් නියෝගයක් ගත්තා. ඒ තහනම් නියෝගය සියල්ල ඉවත් වෙලා තියෙන්නේ. දැනට යන සියයට 3 මුදල අනීතිකයි කියන්නේ මේ නිසා. අපේ වගකීමක් තියනවා පෙට්‍රෝලියම් එක හැටියට, එකේ සභාපතිවරයා ලෙස මේ නීතිය ක්‍රියාත්මක කරන්න.
ඒක ක්‍රියාත්මක නොකළොත් ලොකු ගැටලුවක් වෙනව. ඒක රටේ ජනතාවගේ පැත්තෙන් ගත්තත් අසාධාරණයක්. ඒ නිසා මේක අනිවාර්යයෙන් ක්‍රියා කරන්න සිද්ධ වෙලා තියනවා.
සභාපතිවරයා කීවේ බෙදුම්කරුවන් කරන සේවය වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කළ යුතු නමුත් එය ජනාතාවට අසාධාරණයක් නොවී සිදු විය යුතු බවය.
බෙදුම්කරුවෙකුට තමන්ගේ මූලික පිරිවැය ගණනය කළ පසු ඔහු කළ ආයෝජනය වෙනුවෙන් සාධාරණ ලාභයක් ඔහුට ලැබි යුතු නමුත් ලෝක වෙළෙඳපලේ යම් කිසි ආකාරයකට මිල ඉහළ ගිය ද, රුපියල අවප්‍රමාණය වුව ද, තෙල් සඳහා ජනතාවට බද්දක් අය කරන විට ද ඒ වැඩිවන මිලෙන් සියයට 3ක ප්‍රමාණයක් ඔවුන් අපේක්ෂා කරනවා නම් සාධාරණීකරණය කළ හැක්කේ කුමන පදනමකින් ද යන්නය.
විකිණුම් මුදලින් සියයට 3ක්. එය තීරණය වෙනවා කොටස් තුනක් මත. ලෝක වෙළෙඳපලේ මිල අනුව එය තීන්දු වෙනවා. රුපියල අවප්‍රමාණය වීමේ දී ඒ අයගේ මිල වැඩි වෙනවා. බදු මුදලක් අය කළොත් ඒ බදු මුදලින් සියයට 3ක් බෙදුම්කරුවන්ට යනවා.
සියයට තුන ඉවත් කරලා ඒ අයගේ වියහියදම්වලට සාපේක්ෂව මිලක් නියම කරන්න කිව්වා. ඒ යෝජනාව අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නා. ලේකම්වරයා කමිටුවක් පත්කළා. ඒ කමිටුව විසින් ගත්ත තීන්දුව තමයි මේ ක්‍රියාත්මක කරන්න යන්නේ හෙට ඉඳන්.







