පැවති පාලක සභා විසුරුවා හැර නව පාලක සභා පත් කළ නමුත් රජරට, නැගෙනහිර සහ අග්නිදිග විශ්වවිද්‍යාල සඳහා උපකුලපතිවරුන් පත් කිරීමේ සිද්ධියට උසස් අධ්‍යාපන ඇමතිවරයි ලෙස කිසිම මැදිහත්වීමක් නොකළ බවත්, උපකුලපතිවරුන් පත් කිරීම සම්බන්ධව අදාල සියලුම තීන්දු ගනු ලැබුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී හරිනී අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති පත් කිරීම පිළිබඳ පැන නැගුණ අතිශය ආන්දෝලනාත්මක තත්ත්වය මුල් කරගෙන සරසවි පද්ධතිය තුළට මාලිමා ආණ්ඩුව දේශපාලනය රිංගවා ඇති ආකාරය පාර්ලිමේන්තුවේ දී දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්නකිරීමට පිළිතුරු දෙමිනි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ ආකාරයෙන් එම ප්රශ්නය ඉදිරිපත් ළේය.
“පාලක සභාවක් විසින් යෝජනා කර තිබෙන රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට මහාචාර්ය ගිනිගද්දර ආචාර්ය රාජපක්ෂ සහ මහාචාර්ය පර්සි විජේවර්ධනගේ නම් යෝජනා කරලා තිබුණා.”
“මේ නම් තුන යෝජනා කරලා තියෙද්දි ඒ නම් තුන ආපහු යවලා පාලක සභාවක් නැවත පත් කරලා ඒ පාලක සභාවට නැවත කියනවා ආපහු නම් තුනක් එවන්න කියලා. ”
“මේ පාලක සභාවල දේශපාලකයො නෙමෙයි ඉන්නේ. උගත් බුද්ධිමත් අය. අග්නිදිග විශ්විද්‍යාලයේ මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. මේක ඉතාම වැරදි සහගත කාරණාවක්. ඒ දේශපාලන ක්‍රමවේදය වෙනස් කරන්න තමයි ඔබතුමියලා පත් කරලා තියෙන්නෙ.”
“මේ ක්‍රියාදාමය තුළ නැවත පාලක සභා පත් කරලා ඔබතුමියලගේ කට්ටියගෙන්. මම අවශ්‍යනම් නම් ගම් එක්ක කියන්නම් ඒ අයගේ විස්තර. ඇයි මේ පරණ ක්‍රියාදාමය තුළ පාලක සභාවලින් නම් කරපු අය තෝරගන්නෙ නැතිව මේ අයව ඉවත් කරන්නෙ. ඒ වෙනුවට වෙනත් නම් යෝජනා කරලා මේ ක්‍රියාදාමය නැවත පටන් ගන්නෙ ඇයි?. මේක ඉතාම අසාධරණයි. ආණ්ඩුවක් පත් වුනා කියලා ඊට මාස කීපයකට කලින් දුන්න තීන්දුවක් නැති කරන්න යෑම වැරදියි කියන කාරණාව මා කියන්නේ.”
එක විශ්වවිද්‍යාලයක නෙමෙයි. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන ඒ තනතුරින් අයින් කෙරුවා.”
“රජරට විශ්වවිද්‍යාලයේ මේ තත්ත්වය ඇති වෙලා තියනවා. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මේ තත්ත්වය ඇති වෙලා තියනවා. ”
“අග්නිදිග විශ්වවිද්‍යාලයේ මේ ප්රශ්නය ඇති වෙලා තියනවා. ”
“මා කියන්නේ සමස්ථයක් විදිහට නැවත පාලක සභා පත් කරලා ඒවයින් නිර්දේශ ගැනීම ඉතාම ප්‍රශ්න සහගතයි. මොකද සාමාන්‍යයෙන් මාස හයකට කලින් තමයි මේ ප්‍රොසෙස් එක පටන් ගන්නේ. මේක වැරදියි. ඉන්න අය සමහරවිට විශ්‍රාම යන්න පුලුවන්. මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියනවා. මේක අසාධාරණයි කියලා මම කියන්නේ. ඔබතුමියගෙන් අහන්න කැමතියි මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද කියලා.”
අගමැතිනී ආචාර්ය හරිනී අමරසූරිය මෙසේ පිළිතුරු දුන්නාය.
“මෙතුමා නීතිඥයෙක් හැටියට මතක් කරන්න ඕන. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තමයි කවුන්සිල් එකෙන් නම් එවන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තමයි නිර්දේශය ජනාධිපතිට ඉදිරිපත් කරන්නේ. අමාත්‍යවරයාගේ මැදිහත්වීමක් ඒ ක්‍රියාවලියට කිසිසේත්ම නෑ.”
“උපකුලපති පත් කරන්නේ ජනාධිපති. නම් යවන්නේ යූජීසී එක.”
“මේ නම් කරපු විශ්වවිද්‍යාල තුනේම, රජරට, නැගෙනහිර සහහ අග්නිදිග විශ්වවිද්‍යාලයෙන් ආපු ඒ යෝජනා යූ.ජී.සී එක විශ්ලේෂණයකින් පස්සේ ප්‍රතික්ෂේප කළා කියලා මට දැනුම් දුන්නා. එතන යම් ප්‍රශ්නයක් මතුවෙලා තියනවා එ් ලකුණු දුන්න ආකාරය පිළිගන්න බෑ කියලා. යූජීසී එකෙන් ඒක ගරු ජනාධිපතිතුමාට දැනුම් දීලා තියනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය ඔවුන් නැවත වරක් රි කෝල් කරලා ඇඩ්වටයිස් කරලා නැවත පටන් ගන්නවා කියන එක තමයි දැනුම් දුන්නේ.”
“ලකුණු ලබා දීමේ ක්‍රමවේදයේ තිබුණා යම් ප්‍රශ්නයක්. ඒකත් එක්ක තමයි යූජීසී එක නැවත ඇඩ්වටයිස් කළේ. ඒ මහාචාර්යවරුන්ට නැවත ඒකට ඉදිරිපත් වෙන්නත් පුලුවන්.”
ඒ මාස තුන හතරක කාලයක් තුළ ඒ කවුන්සිල් නැවත පත් කරපු බව හරි. ඒකයි මේ උපකුලපති පත් කිරීමයි අතර කිසිම සම්බන්ධයක් නෑ. ”
“රුහුණු විශ්වවිද්‍යාලයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. රුහුණු විශ්වවිද්‍යාලයේ දි සිද්ධ වුනේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උද්ගත වුනා. ශිෂ්‍යයිනුත් ස්ට්‍රයික් කළා. අනධ්‍යන කාර්ය මණ්ඩලයත් ස්ට්‍රයික් කළා. ආචාර්ය මණ්ඩලයත් ස්ට්‍රයික් කරලා උපකුලපතිවරයාට සරසවියට ඇතුළු වෙන්න බැරි තත්ත්වයක් ඇති වුනා.”
“මෙතන නඩුවකුත් යන නිසා මම වැඩි විස්තර කියන්න බෑ. අමාත්‍යවරිය ලෙස මට පනතෙන් පැවරිලා තියන බලතල පාවිච්චි කරලා තමයි වැඩ බලන උපකුලපති කෙනෙක් පත් කළේ.”







