රජය මේ අවස්ථාවේ දී සහතික මිල ප්‍රකාශයට පත් කිරීමක් කළහොත් පවතින වී මිල පහත වැටී ගොවියාට බරපතල අසාධාරණයක් සිදුවන බවත් එය සුදුසුම මොහොතේ ප්‍රකාශයට පත් කරනු ඇති බවත් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න අද (27) මාධ්‍ය අමතමින් පැවසුවේය. ඒ කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
රජය වී සඳහා සහතික මිලක් තවමත් ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි දැයි සමාජයේ පාර්ශව දිගින් දිගටම ප්‍රශ්න කරන බව කී ඇමතිවරයා මෙම තීන්දුවට රජය පැමිණ ඇත්තේ වී අලෙවිය සම්බන්ධ පසුගිය වකවානුව පුරාම පැවති රටාව ඉතාම යහපත් ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුව බව ද කීවේය.
“වී වලට අවම මිල පමා කරලා තියෙන්නේ හිතා මතා. අපි හිතා මතා මේ පමා කරන්නේ. ඇයි ඒ. ගොවියා ගැනම හිතලා. අමු තෙත වී පහුගිය කාලේ රුපියල් 140ටත් ගියා. වේලපු වී කිලෝවක් රුපියල් 160යි. එහෙම වී ගන්න ගියොත් හාල් කිලෝ එක 300ට යාවි. මේ වී මිල විකෘතියක්. හැම කන්නයකම ගොයම් කපන කාලේ මේ විකෘතිය හදනවා.
මේ විකෘතිය ඇතුළෙ මේ වෙලාවේ වැඩි මිලකට වී විකිණෙනවා. දැනට වී විකුණා ගන්න බැරි ප්‍රශ්නයක් නෑ. වී වලට මිලක් නෑ කියලා දෙයකුත් නෑ. එහෙම ප්‍රශ්නයක් නැතිව තියෙද්දි ඇයි අපි ප්‍රශ්නයක් ඇතිි කරන්නේ. පවතින මිල අපි මැදිහත් වෙලා පහලට එනවා මේ විකෘතිය ඇතුළේ ඒක ගැටලුව ගොවියන්ට.
මේක හැම කන්නයකම වෙනවා. ගොයම් කපපු ගමන්ම ගොවීන්ගෙන් වැඩි මිලට වී ගන්නවා පොඩි කන්ඩායමක්. ඊට පස්සේ පහළට දානවා මැද මිලක් දක්වා. එකෙන් වී අස්වැන්නෙන් අඩකට අඩුවෙන් වගේ ගන්නවා. ඊට පස්සේ මිල විනාශ කරලා පහළටම දාලා අඩුම මිලට ඉතිරි වී ටික ගන්නවා. ඒක තමයි වැඩිම ප්‍රතිශතය. සමස්ථයක් ලෙස මේ වී මිල බැලුවොත් මධ්‍යස්ථය ඉතාම අඩු අගයක්. මෙතෙක් සිද්ධ වෙච්චි ක්‍රියාවලිය මේක.
මේ තත්ත්වයත් එක්ක හිතාමතා තමයි මේ වී මිල ප්‍රකාශ කරලා නැත්තේ. මේකෙ නාඩිය අපට තේරෙනවා. ඒ නිසා කල් යල් බලල. අපි අවම මිල ප්‍රකාශයට පත් රකනවා. ඒකෙන් කියැවෙන්නේ නෑ ගොවියාට අසාධාරණ මිලක් නියම කරනවා කියලා. අපි දැනට ගොවීන්ගේ නිශ්පාදන පිරිවැය ගණන් බලලා තියනවා. එකක් පොහොර එක්ක. අනෙක පොහොර නැතිව. පොහොර සහනාධාරය ලබා දුන්නත් ගොවියගේ වියදම බලන්නේ පොහොර වියදමත් එක්ක නෙමෙයි. පොහොරවලට යන වියදමත් ගොවියා දරනවා කියන තර්කයෙන් නිශ්පාදන වියදම ගණනය කරනවා. එතකොට සාධාරණ නිශ්පාදන වියදමක් එනවා. ඒ නිශ්පාදන වියදමට සියයට 30ක් එකතු කරලායි සහතික මිල තීරණය කරන්නේ. ඒක සාධාරණ මිලක්. පහුගිය සැරේ සහතික මිල නියම කළේ නිශ්පාදන වියදමට රුපියල් 05ක් එකතු කරලා. මේ වර එහෙම වෙන්නේ නෑ,”
නිසැකවම පහත වැටෙන වී මිල සම්බන්ධ වෙළෙඳපල තත්ත්වය පරීක්ෂා කරමින් සිටි සුදුසුම අවස්ථාවේ දී සහතික මිල ඉදිරිපත් කිරීමත් සමග වී ගබඩා විවෘත කරන බව ද පෙන්වා දුන් ඇමතිවරයා
රජය විසින් මිල දී ගන්නා එක් වී ඇටයක්වත් විකුණන්නේ නැති බවත්, හාල් කර සාධාරණ මිලකට වෙළෙඳපලට නිකුත් කරමින් වෙළෙඳපලේ සහල් මිල පාලනය කරන බවත් ඇමතිවරයා පැවසුවේය.
“රජයට මේ වී වලින් සමස්ථය ගන්න බෑ. ඒ ප්‍රමාණය අපි ගන්නවා කොහොමහරි. වෙලාව ආවට පස්සේ වී ගබඩා විවෘත කරලා වී මිලදී ගන්නවා.” ඔහු කීවේය.







