ඉන්දියාව හා අපේ විදුලි පද්ධතිය සම්බන්ධ වන්නේ ඉන්දියාවට බලශක්ති ඒකාධිකාරිය ලබා දීමට නොව, අප විසින් පුනර්ජනනී බලශක්තිය ලෙස නිශ්පාදනය කිරීමට බලාපොරොත්තුවන බලශක්තියේ අතිරික්තය ඉන්දියා හරහා බිම්ස්ටෙක් රටවලට අපනයනය කිරීමට බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (20) පැවසුවේය.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මේ කරුණු දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ එය රට පාවා දෙන එකඟ තාවයක් නොවන බවය. එමෙන්ම මේ වනවිට ඉන්දීය සමාගමක් විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කර ක්‍රියාත්මක කරමින් ඇති සාම්පූර් සූර්ය විදුලිබල ව්‍යාපෘතිය දිගටම පවත්වා ගැනීමට රජය එකඟ වූ බව ද ඇමතිවරයා පැවසුවේය.
ඇමතිවරයා ඒ සම්බන්ධව පැහැදිලි කළේ මෙසේය
විශේෂයෙන්ම රටවල් දෙක අතර බලශක්තිය ගැන ව්‍යාපෘති ගණනාවක් යෝජනා වෙලා තියනවා. ඒ වගේම ඒ යෝජනාවල විවිධ තාක්ෂණික ගැටලු මතු වී තිබෙනවා. ඒ බලශක්ති ගැටලු මතු වූ තැන්වලදි මූලික වශයෙන් ප්‍රතිපත්තිමය එකඟතා මත සාකච්ඡා පැවැත්තුවා.
එහිදී සාම්පුර්වල දැනටමත් එකඟවෙලා තියන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න එකඟතාවය පල කළා. දැනටමත් ලංකාවේ විදුලිබල මණ්ඩලය සහ ඉන්දියානු සමාගමක් ගිවිසුම් අත්සන් කරලා ඒ අනුව ඉදිරියට යන ව්‍යාපෘතියක්.
ඒ ව්‍යාපෘතිය හරහා සූර්ය බලශක්තිය ලැබෙනවා. ඒ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න අප එකඟතාවය පල කළා.
ඒ වගේම LMG ලබා ගැනීම පිළිබඳවත්, දෙරට අතර සුළං විදුලිය ක්‍රියාත්මක කිරීම ගැනත් සාකච්ඡා කරන්න අපි එකඟතාවය පළ කළා.
විශේෂයෙන්ම අපේ රටට තියනවා සූර්ය බල ශක්තිය. සුළං බල ශක්තිය. එය ස්වභාවිකව අපට ලැබුන සම්පතක්. ඒක ප්‍රයෝජනයට අරගෙන අප හරියට විදුලි ජනනය කළොත් අපේ රටේ අවශ්‍යතාවයට වඩා අතිරික්තයක් අපට නිශ්පාදනය කරන්න පුලුවන්. අතිරික්තය අප අපනයනය කරන්න ඕන. අපනයනයේ දී අපට ඉන්දියාවත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා.
මොකද ඉන්දියාව හරහා තමයි ඉන්දියාවට සහ අනෙකුත් රටවලට විදුලිය අපනයනය කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා බිම්ස්ටෙක් ආර්ථික සහයෝගීතාවය ආර්ථික තාක්ෂණික සහයෝගීතාවය මත අප නිශ්පාදනය කරන අතිරික්ත බලශක්තිය අපනයනය සඳහා කළ සාකච්ඡා ඉදිරියට ගෙනියන්න අපි එකඟතාවය පල කළා.
ඒක කිසිසේත්ම අපේ රට පාවාදීමක් හෝ අපේ රටට හානි දායක දෙයක් නෙමෙයි. ඒක ප්‍රතිපත්තියක් ලෙස අපට එකඟ වෙන්න පුලුවන් කාරණාවක්. රටේ ජනතාවත් ඒක හොඳින් තේරුම් අරන් තියනවා.







