දිනසේන රතුගමගේ –
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලෙන් අලුතින් හමු වූ මිනිස් ඇට සැකිලි හතට යටින් ඩිජිටල් පුවරුවක් හමු වී තිබේ.
ඊයේ (11) හමුවී ඇති එම ඩිජිටල් පුවරුවේ සඳහන් දේ නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි නිසා ඒ පිළිබදව සුවිශේෂ පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය බව කැණීම් බාර නිලධාරීන් මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා වෙත දැණුම් දී ඇත.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එම ඩිජිටල් පුවරුව ඉතා සුරක්ෂිතව තබා ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා යොමු කරණ ලෙසට නියෝග කොට තිබේ.
කොක්කුතුඩුවායී සමූහ මිනී වලෙන් අලුතෙන් මතු වූ මිනිස් ඇට සැකිලි හතෙන් තුනක් ගොඩ ගෙන ඇති අතර එම මිනිස් ඇට සැකිලිද මෙතෙක් හමු වූ ඇට සැකිලි 40 සමග ගබඩා කොට තැබීමට පියවර ගෙන ඇත.
දැනට මතු වි ඇති මිනිස් ඇට සැකිලි අතර ඉතිරිව තිබෙන ඇට සැකිලි හතරද ඉදිරි දින කීපයේදී ගොඩ ගැනීමට සැලසුම් කොට තිබේ.
අලුතෙන් හමු වූ මිනිස් ඇට සැකිලි හතම ගොඩ ගැනීමෙන් පසුව මෙම සමූහ මිනී වලේ අලුත් කොටසේ කැණීම් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.
කොක්කුතුඩුවායී සමූහ මිනී වලෙන් අලුතින් මිනිස් ඇට සැකිලි හතක් මතු වූ අවස්ථාවේදීත් ඩිජිටල් පුවරුවක් හමු වූ අවස්ථාවේදීත් මුලතිව් මහේස්ත්‍රාත්වරයා හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරිනි ලුඩියානා සෙල්රීන් අඛිලාන් ද සමූහ මිනී වල නිරීක්ෂණය කරමින් සිට ඇත.







