දිනසේන රතුගමගේ –
-
අපේ ධීවරයෙක් යන්තම් මුහුදු සීමාව ඉක්මවුවොත් අවුරුදු ගණන් ඉන්දියානු හිර ගෙවල්වල… අපේ මාළු කොල්ලකන ඉන්දීය ධීවරයින්ට නඩුත් නෑ… යාපනයේ ධීවරයෝ කියති!
අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කොට සිටි ඉන්දීය ධීවරයින් 42 ක් යාපනය හා කයිට්ස් අධිකරණ විසින් ඊයේ ( 22 ) නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ධීවර පිරිස් සිය කණස්සල්ල පළ කර සිටිති.
මෙම ඉන්දීය ධීවරයින් පිරිස අවස්ථා තුනකදී නාවික හමුදාව විසින් ඩෙල්ෆ්ට්, පේදුරුතුඩුව හා මන්නාරම යන මුහුදු සීමා වලදී අත් අඩංගුවට ගත් ධීවරයෝ වෙති.
ඔවුන්ගේ යාත්‍රා හතක් රාජසන්තක කිරීමට නියෝග කොට ඇති අධිකරණය ඉන්දීය ධීවරයින් පිරිසට දඩුවම් ලබා නොදී ඔවුන්ව නිදහස් කොට තිබේ.
එම ධීවරයින්ට ආපසු ඉන්දියාවට යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස යාපනය හා කයිට්ස් අධිකරණ විසින් නාවික හමුදාවට හා යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කොට තිබේ.
ඉන්දීය ධීවරයින් 42 ක් දඩුවම් රහිතව නිදහස් කිරීම සම්බන්ධයෙන් සිය නොසතුට පල කොට සිටින උතුරේ එක්සත් ධීවර සංගමය යාපනයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාව බලහත්කාරයෙන් ආක්‍රමණය කොට නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ලකෑමට එරෙහිව ඉතා තදින් නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබියදී මෙවැනි ලිහිල් අධිකරණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳව ගැටලුවක් ඇති බවය.
උතුරේ ධීවරයින්ව ඉන්දීය අත් අඩංගුවට පත්වන අවස්ථාවලදී එම ධීවරයින්ට ඉන්දීය බන්ධනාගාරවල වසර ගණනක් දුක් විදීමට සිදුව තිබීමත් ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට පත් වූ විට ඔවුන්ට ඉතා ඉක්මනින් කිසිදු දඩුවමක් නොමැතිව නිදහස ලැබීමත් දෙරටේ ධීවර ප්‍රතිපත්ති හා ධීවර පනතට අනුව නොගැලපෙන ක්‍රියාවක් බවත් උතුරේ එක්සත් ධීවර සංගමය යාපනයේදී කියා සිටියේය.







