දිනසේන රතුගමගේ –
වවුනියාවේ තෝනිකල් ප්රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසට ප්රහාරයක් එල්ල කොට පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට යොදාගත් අවි ආයුධ වලින් තවත් කොටසක් වවුනියාව පොලිසිය විසින් ඊයේ ( 3 ) සොයා ගෙන තිබේ.
සැකකරුවන් විසින් අපරාධය සිදු කිරීමෙන් පසුව අවි ආයුධවලින් කොටසක් වවුනියාවේ වැවක සඟවා තිබූ අතර තවත් කොටසක් ඝාතනය ලබා දුන් ප්රධාන කොන්ත්රාත්කරුගේ නිවසේ සඟවා තිබී ඇත.

පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු සමග ප්රධාන අපරාධකරුගේ නිවසට ගොස් අවි ආයුධ තවත් කොටසක් අත් අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර මෙම අපරාධය සිදු කිරීමට කොන්ත්රාත්තුව ලබා ගත් පුද්ගලයාද සිටියි.
අවම වශයෙන් තවත් හතර දෙනෙකුවත් අත් අඩංගුවට ගැනීමට සිටින බව පවසන වවුනියාව පොලීසිය බාහිර පුද්ගලයින් විසි දෙනෙකුගෙන් පමණ මේ සම්බන්ධයෙන් ප්රශ්න කොට තිබේ.
උපන් දීන සාදය පැවති නිවසට මැරයින් ඇතුලු වී එහි සිටි උදවිය තියුණු ආයුධ වලින් කපා කොටා පසුව නිවසට ගිනි තබා තිබුණි.
පසුගිය ජූලි මස 24 වෙනිදා සිදු වූ මෙම සිද්ධියෙන් අඹු සැමි යුවලක් මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලැබුවේය.
සංවිධානාත්මක පිරිසක් විසින් මෙම අපරාධය සිදු කිරීමට හේතුව අනියම් පෙම් පටලැවිල්ලක් බව වවුනියාව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසීසිය තව දුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







