අනුරාධපුර පර්සි කුරුනේරු –
කොළඹ සිට කහටගස්දිගිලිය ය බලා ධාවනය කරමින් තිබූ එකම පවුලේ ඥාතීන් අට දෙනෙක් ගමන් ගත් වෑන් රථයක් අනුරාධපුර පාදෙනිය ප්රධාන මාර්ගයේ තඹුත්තේගම ඒරියාගම ප්රදේශයේ ආපනශාලාවක් අසල මාර්ගය අයිනේ නතර කර තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් අද (04) අළුයම සිදුවූ මාරක අනතුරකින් එහි ගමන් කළ අඹුසැමි යුවලක් ඇතුළු සිව් දෙනෙක් මරුමුවට පත්ව තවත් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා ඇත.
අනතුර සිදුව තිබුණේ අළුයම 12.10ට පමණය. කහටගස්දිගිලිය පල්ලිය පාරේ පදිංචි පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත.
ඔවුන් මක්කම වන්දනා කිරීම සඳහා ගුවන් ගමන් බලපත්ර සකස් කිරීමට කොළඹ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් නැවත සිය නිවෙස් බලා ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.
අනතුරුව කොළඹ සිට කහටගස්දිගිලිය බලා ගමන් කරමින් සිටින අතරතුර වෑන් රථයට ඉදිරියෙන් එකම දිසාවට මන්නාරම බලා ධාවනය කරමින් තිබූ කන්ටේනර් රථයක රියැදුරු තේ පානය සදහා ඒරියාගම ප්රදේශයේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට මාර්ගය අයිනේ කන්ටේනර් රථය නතර කරනවාත් සමගම පසුපසින් ධාවනය කළ වෑන් රථය එහි පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
වෑන් රථයේ රියැදුරුට එහි වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන තඹුත්තේගම පොලිසිය පවසයි.
කහටගස්දිගිලිය පල්ලිය පාරේ පදිංචිව සිටි හතළිස් හය හැවිරිදි මව්ලානා සෙයියදු අහමඩ් අස්සෙයියදු, තිස් හය හැවිරිදි සෙයිදු ආබ්දීන් වපා, හතළිස් තුන් හැවිරිදි සෙයිදු අහමදි මව්ලානා ආබ්දා සහ විසි හැවිරිදි අබ්දුල් රහුමාන් මොහොමඩ් රාසික් යන සිවු දෙනා මරුමුවට පත්ව ඇත.
මෙම අනතුරින් කුඩා දරුවන් තිදෙනෙක් සහ වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්රතිකාර සදහා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙක් වැඩිදුර ප්රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.
අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියැදුරු පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ







