දිනසේන රතුගමගේ –
යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට ඊයේ (29) කඩා වැදුණු මැරයින් පිරිසක් විශ්වවිද්‍යාල සිසුවකු කඩුවකින් කපා ඔහු නැවතී සිටි නේවාසිකාගාරයට හානි සිදු කොට පලා ගොස් තිබේ.
මෙම නේවාසිකාගාරය යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පිහිටා ඇති අතර මීට මාස දෙකකට පමණ ඉහතදී ද මෙම නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටි සිසුන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබුණි.
කඩුවෙන් කැපීම නිසා තුවාල ලැබූ විශ්ව විද්‍යාල සිසුවා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මහ දවල් මුහුණු ආවරණය කරගෙන යතුරු පැදි දෙකකින් පැමිණි මැරයින් හතර දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කොට තිබේ.
කෝපායී පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇතත් ප්‍රහාරය සඳහා පැමිණි මැරයින් මෙතෙක් හඳුනා ගැනීමට හෝ අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.







