දිනසේන රතුගමගේ
මුලතිව් රෝහලේදී සිදු කළ සැත්කමකින් පසුව මවකගේ උදරයේ තිබී කිලෝ ග්‍රෑම් එකක් පමණ බර ගෝස් කැබැල්ලක් හමු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ස්වාමි පුරුෂයෙකු උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගෙන් 27 දා ඉල්ලීමක් කොට තිබේ.
දරු ප්‍රසූතියක් සදහා මුලතිව් රෝහලට ඇතුළත් කළ තම බිරිද රෝහලේදී සීසේරියන් සැත්කමකට භාජනය කළ බවත් ඉන් පසුව ඇගේ උදරයේ හට ගත් වේදනාව දින ගණනාවක් යන තුරුත් පහව ගොස් නොමැති නිසා ඇයව වාර 12 ක්ම මුලතිව් රෝහලට රැගෙන ගිය බව බිරිදගේ ස්වාමී පුරුෂයා සඳහන් කරයි.
පසුව එක්ස්රේ පරීක්ෂණයකින් පසුව උදරයේ කිලෝ ග්‍රෑම් එකක පමණ ගෝස් කැබැල්ලක් තිබියදී සිය බිරිදගේ උදරය මසා ඇති බව හෙළි වීමෙන් පසුව එම ගෝස් කැබැල්ල ගැනීමට යළි ශල්‍ය කර්මයක් කළ බව පවසන ස්වාමි පුරුෂයා වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා තමාටත් තම බිරිදටත් සිදු වූ මානසික කම්පනය හා බිරිදගේ ශාරීරික වේදනාව වෙනුවෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඊට වග කිව යුතු වෛද්‍යවරුන්ට කිසියම් දඩුවමක් ලබා දිය යුතු බව එම ස්වාමි පුරුෂයා විසින් කල පැමිණිල්ලෙන් ඉල්ලීමක් කොට තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට වෛද්‍යවරු තුන් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය විසින් පත් කොට තිබේ.







