ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන සංචාරය පිළිබඳ ජාතික විගණන කාර්යාලය විසින් ඉදිරිපත් කළ කෙටුම්පත වෙනුවෙන් තමන් දැඩිව පෙනි සිටින බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න කියා සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයතනයේ මුදල් නිළියන් ඇතුළු පිටස්තරයින්ට වියදම් නොකළ බවත් ඒ බව ඔප්පු කළහොත් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පෙරේදා (25) කළ අභියෝගයට ප්‍රතිචාර දක්වමින් විගණකාධිපතිවරය ඊයේ (26) මේ බව The Island වෙත ප්‍රකාශ කළේය.
ජාතික විගණන කාර්යාලය මෙම වාර්තාව හැදුවේ අදාළ පාර්ශවවලින් ලැබුණු නිල ලේඛණ පදනම් කරගෙන බව කී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ උක්ත කෙටුම්පත සම්බන්ධව කිසිම ගැටලුවක් පැන නැග නැති බවය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T – 20 ලෝක කුසලානය (පිරිමි) ක්‍රිකට් තරගය ආශ්‍රිත විශේෂ විගණනය’ ලෙස වන එම විගණන කෙටුම්පතේ ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කර තිබිණි.
ලෝක කුසලාන තරගාවලියේ තරග නැරඹීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් රංගන ශිල්පිනියන් ඇතුළු පිරිසක් ඕස්ට්‍රෙලියාවට රැගෙන යාමට අදාළව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර තිබෙන විගණන වාර්තාවේ සදහන් විය.
ඉන්දියාවෙත් බොලිවුඩ් නිලියො ටිම් එක එක්ක යනවා..
වාර්තාව රහස්‍ය වාර්තාවක් වුවත් අදාළ කරුණු සමාජගත වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය 25 දා විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා හැකිනම් මේ චෝදනා ඔප්පු කරන ලෙස අභියෝග කළේය. ඔප්පු කළහොත් තමන් තනතරු අත්හරින බව ශම්මි කිවේ ඒ අවස්ථාවේ දී ය.
සභාපති ෂම්මි සිල්වා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව සිදුකළ විගණන වාර්තාව සම්බන්ධයෙන් ලබන 16 වැනිදාට පෙර පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවයි. අදාළ විගණන වාර්තාවේ කෙටුම්පත ජුනි මස 18 වැනිදා තමන් අතට පත්වූ බවත් ඒ සඳහා පිළිතුරු ලබාදීමට අගෝස්තු 22 දක්වා කාලය ඉල්ලා සිටි බවත් පසුව එම කාලය අගෝස්තු 16 වැනිදා දක්වා අඩු කර ගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කියා සිටියේය.
ඉන්දියාවේ ක්‍රිකට් ඉහළ නැංවීම සඳහා බොලිවුඩ් තාරකාවන් එම කණ්ඩායම සමන් නොයෙක් සංචාරයන්ට එක්වන බවත් නළු නිළියන් ගායක ගායිකාවන් තම කණ්ඩායම දිරි ගැන්වීම සඳහා සහභාගී වීම ඉන්දියාවට නොව ලෝකයටම අලුත් දෙයක් නොවන බවත් ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග නැරඹීම සඳහා නළු නිළියන් සහභාගීවීම ඇතැමුන්ට දරාගන්නට බැරි තරම් ඊර්ෂ්‍යාවක් හට ගන්නට හේතු වී ඇති බවයි ෂම්මි සිල්වා කීවේය. ඔහු කීවේ මේ පිරිස ඉරිසියාව නිසා අවලාද නගන බවය.
ක්‍රිකට් ආයතනය පුද්ගලික සමාගමක් වගේ… එහෙම ඇඟිලි ගහන්න බෑ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකළ විගණන වාර්තාවේ කෙටුම්පතක් මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කර චෝදනා නැඟූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට විගණකාධිපති වාර්තාව සහ කෙටුම්පතෙහි වෙනස තේරුම් ගැනීමට නොහැකිවීම ගැන කනගාටුවට පත්වන බවත් ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.
“මැච් බලන්න ටිකට් ගත්තට හැමෝටම වීසා ඉල්ලලා දෙන්න බැහැ. හැබැයි මට පුළුවන් මගේ සහෝදරයට, බිරිඳට වීසා ඉල්ලුම් කරන්න. ඒ වගේම අපේ හොඳම හිතවතුන්ට එහෙම කරන්න පුළුවන්. හැබැයි තරහකාරයින්ට එහෙම වීසා අරන් දෙන්න බැහැ. ඒ වගේම ක්‍රීඩා සමාජයක සභාපති කෙනෙක්, ලේකම් කෙනෙක් ඉල්ලුවොත් අපි වීසා අරන් දෙන්න කටයුතු කරන්න ඕන” ඔහු එම මාධ්‍ය හමුවේ දී කීවේය.
සභාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෞද්ගලික සමාගමක් මෙන් බවත් ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ පෙනී සිටින්නේ විගණනයට යටත් වීම නිසා පමණක් බවත්ය.
විගණකාධිපතිගේ උත්තරය
ආන්දෝලනයට තුඩු දී තිබෙන විගණන වාර්තාවට අදාළ විගණන කොමිසම පසුගිය අප්‍රේල් මාසයේ දී පත්කරන ලැබූවකි. එය විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ජී. තේවරාජන්, ඒ.එම්. ධර්මජිත් නයනකාන්ත යන අයගෙන් සමන්විත විය.
විණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න 2022 වසරේ ඔක්තෝබර් 09 සිට නොවැම්බර් 13 දක්වා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු සංචාරය පිළිබඳ ජාතික විගණන කාර්යාලය ඉදිරිපත් කළ සිය කෙටුම්පත් වාර්තාව වෙනුවෙන් තමන් දැඩිව පෙනී සිටින බව පවසන්නේ මේ පසුබිමේ දී ය.
විගණකාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ පාර්ශ්වවලින් ලැබුණු නිල ලේඛන මත පදනම්ව සකස් කරන ලද කෙටුම්පත් වාර්තාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති විය නොහැකි බවත් කෙටුම්පත් වාර්තාව එම සංචාරය පිළිබඳ අවසන් ලිඛිත වාර්තාව නොවන බවත්ය. ජූනි 14 දිනැති කෙටුම්පත් වාර්තාව තම නිලධාරීන් විසින් පෞද්ගලිකව ක්‍රීඩා ලේකම් කේ. මහීෂාන් වෙත භාරදුන් බව ඔහු පවසා තිබිණි.
මෙම විගණනයට අදාළ කෙටුම්පතට ප්‍රතිචාර දැක්වීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයට අමතර කාලයක් ලබාදී ඇත. එහෙත් මේ දක්වා ඒ සමබන්ධව ප්‍රතිචාර ලැබී නැති විගණකාධිපතිවරයා කීවේය.
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට රජයේ විගණනයෙන් ඉවත් වෙන්න බෑ…
“ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිචාරය සැලකිල්ලට ගෙන අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු අපි එය නීතිපති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ විගණනයෙන් ඉවත් විය හැකි බවට කෙරෙන ප්‍රකාශ ගැන කියන්න තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන ගිණුම්කරණ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා සියලු මූල්‍ය කටයුතු සඳහා වගකිව යුතු බවයි. “
“2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 13වැනි වගන්තිය ප්‍රකාරව, නීතිපතිවරයාට තම විෂය පථයට අයත් ආයතනවලින් පැහැදිලි කිරීම් ලබා ගැනීමේ බලය හිමියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ව්‍යතිරේකයක් නෙමෙයි” විගණකාධිපතිවරයා කීවේය.
ප්‍රශ්නගත වාර්තාව කිසියම් පුද්ගලයකු, පුද්ගල කණ්ඩායමක් හෝ ආයතනයක් ඉලක්ක කර ගැනීමේ උත්සාහයක් ලෙස වරදවා වටහා නොගත යුතු බව ඔහු පවසා තිබිණි.







