කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතර මැදි පන්ති වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන් පිරිසකට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර පදිංචි සහතික ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මහින්ද සෙනරත් පොල්වත්ත නැමැති ග්‍රාම නිලධාරිවරයා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි හමුවට ඊයේ (05) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ගඟවට කෝරළය අංක 251 සෙංකඩගල වසමේ ග්‍රාම නිලධාරිවරයා ලෙස කටයුතු කළ මොහු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පංතිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන් පිරිසකට කූඨ ලේඛණ සකස් කරදීමේ චෝදනාව මත පොලීසිය මෙයට පෙර අත් අඩංගුවට ගන්නා ලද සරත්චන්ද්‍ර දසනායක නැමැති අය හා මෙම ග්‍රාම නිලධාරීවරයා අතර දුරකතන සංවාද ගණනාවක් සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සැකකාර ග්‍රාම නිලධාරිවරයා සෙංකඩගල කඩ කාමර අංක පවා යොදා ළමුන් ඇතුළත් කිරීම සඳහා පදිංචි සහතික ලබා දී තිබෙන අතර එකම අංකයට පදිංචි සහතික දෙකක් පුද්ගලයින් දෙදෙනෙකුට ලබා දී තිබෙන අවස්ථා ද වාර්තා වන බව පොලීසිය පවසයි.
පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ රැකියාවක් කරන බවට තොරතුරු ඇතුළත් කරමින් සැකකරු පදිංචි සහතිකයක් නිකුත් කර තිබේ.
ශාන්ත අන්තෝනි බාලිකාවට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලබා දී තිබෙන කූඨ ලේඛණ බවට සැක කෙරෙන ලේඛණ අතර මෙම ව්‍යාජ තොරතුරු ඇතුළත් පදිංචි සහතික තිබෙන බව ද පරීක්ෂණ මගින් හෙළිව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ගේ උපදෙස් මත විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස් උවින්දසිරි ,පොලිස් පරීක්ෂක එස්.සංජීව,පොලිස් සැරයන් හෙට්ටිආරච්චි යන නිලධාරීන් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.







