ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා මීළඟ පොලිස්පතිවරයා පොලිසියේ ආදර්ශවත් සහ නොකැළැල් සේවයක් කළ හැකි නිලධාරියෙකු වීම අතිශයින්ම වැදගත් බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
නීතිඥ සංගමය ජනාධිපතිවරයාට දන්වා සිටින්නේ යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍ය තහවරු කිරීම සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බැවින් ඒ පිළිබඳව හැකි උපරිමයෙන් සලකා බලා පොලිස්පති තනතුරට සුදුස්සෙක් පත්කිරීම අතිශයින් වැදගත් බවය.
2023 ජුනි 26 වන දින පොලිස්පති ධූරය පුරප්පාඩු වී ඇති බව තමන් දන්නේ යැයි නීතිඥ සංගමය පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පොලිස්පතිවරයා පත් කිරීමට පෙර නිර්දේශය හෝ අනුමත කිරීම සිදුකරන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා ඇති බවත් එම පත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් තීරණය කළ යුතු බවත් සඳහන් කරන නීතිඥ සංගමය තව දුරටත් කියා සිටින්නේ පොලිසිය කෙරෙහි ඇති මහජන විශ්වාසය මේ වනවිට බරපතල ලෙස ඛාදනය වී ඇති බවය.
මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණේ නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි විසිනි.







