පසුගිය 21 වැනිදා පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාව වෙත ආනයනය කරන ලද අල කන්ටේනරයක් තුළ බහා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 16යි ග්‍රෑම් 193ක් රටට ගෙන්වූ ජාවාරමට අදාල සැකකරුවන් 03ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
සූක්ෂම ලෙස සැකසූ මළු 12ක් තුළ බහා මෙම මත්ද්‍රව්‍ය තොගය ලංකාවට එවා තිබිණි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම හෙරොයින් තොගය සහිත බහාලුම ආනයනය කරන ලද ආයතනයේ අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකුත්, බහාලුම නිශ්කාෂණය සඳහා සූදානම්ව සිටි ආයතනයේ හිමිකරුත්, අර්තාපල් තොගය සහිත බහාලුම යොමු කිරීමට සූදානම් කර තිබූ ගොකරැල්ල ප්‍රදේශයේ පිහිටි ස්ථානය හිමි පුද්ගලයාත්ය.
මෙම පුද්ගලයින් පසුගිය 22 දා අත්අඩංගුවට ගත් බවත් ඔවුන් වයස අවුරුදු 27, 37 හා 50 යන වයස්වල පසුවන කොළඹ 14 හා ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී හෙරොයින් ජාවාරමට සම්බන්ධ පකිස්ථාන ජාතිකයෙකුගේ තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරුවන් තිදෙනා මාලිගාකන්ද අධිකරණයට යොමු කර රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







