ශ්‍රියානි විජේසිංහ –
ජනාධිපති ලේකම් කාර්යාලයත් කැබිනට් මණ්ඩලයත් ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන අභියාචනා කමිටු ලබා දෙන නිර්දේශ නොසලකා හරිමින් cefuroxime ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පි ලක්ෂ 25ක් මිල දී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරිපත් කොට ඇති ටෙන්ඩරය ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රශ්න සහගත ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම තීරණය කර ඇත.
කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දිගින් දිගටම සිදුවන අවුල්සහගත ටෙන්ඩර් ක්‍රියාවලියන් සම්බන්ධයෙන් අල්ලස දූෂණය නාස්තියට එරෙහිව දිගින් දිගටම එන පැමිණිලි හේතුවෙන් බව එම කොමිසම පවසයි.
cefuroxime ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පි මිලදී ගැනීමේ දී සමාගම්වල සුදුසුකම් නිසි පරිදි පරීක්ෂා කිරීමක් හෝ නවතම මිල ගණන් කැඳවීමකින් තොරව ඩොලර් සත විසි පහකට ලබා ගැනීමට හැකියාවක් පවතින එන්නත් කුප්පියක් වෙනුවෙන් ඩොලර් සත 75 බැගින් ගෙවීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 500ක පමණ අලාභයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය උත්සහ දරමින් සිටින බවට මින් පෙර සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.







