රිලවුන් රට යැවීම සම්බන්ධයෙන් බොරු ප්‍රචාර පතුරුවමින් එය ආන්දෝලනාත්මක ආරංචියක් බවට පත් කරන සංවිධානවල අය ප්‍රථමයෙන් රට පැටවිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
රාජ්‍ය නොවන සංවිධාන සමඟ එකතු වූ අය මුදල් සොයා ගැනීම සඳහාත් දේශපාලන පක්ෂවල අය සිය පක්ෂය ප්‍රසිද්ධ කර ගැනීම සඳහාත් විවිධ ප්‍රචාර යවන අතර කිසිවෙකු අහිංසක මිනිසුන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන බව ද අමාත්‍යවරයා පැවසීය.
රිලවුන් නිසා බොහෝ ප්‍රදේශවල ජනතාවට දැඩි හිරිහැරයක් සිදුව ඇති බව ද, සමහර අවස්ථාවල ජනතාව සිය ගම් බිම් පවා අතහැර දමා ඇති බව ද ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ මුල් භාගයේදී පොල් ගෙඩි මිලියන 93ක් පමණ රිලවුන්, වඳුරන්, යෝධ ලේනුන් විසින් විනාශ කර තිබූ බව රිලවුන්ගෙන් සිදුවෙන හානිය සම්බන්ධයෙන් පරිසර සංවිධාන සමඟ කළ සාකච්ඡාවකට පසු හෙළිදරව් වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම වාර්තාවට අනුව වසරකට පොල් ගෙඩි මිලියන 200ක් පමණ එම සතුන් නිසා විනාශයට පත් වේ.
“රිලවුන් ලක්ෂයක් ලබා දෙන ලෙසට යෝජනාවක් චීන නියෝජිතයින් කණ්ඩායමක් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ලිඛිත ඉල්ලීමට අනුව චීනයේ සත්වෝද්‍යාන 1000ක් පිරවීම සඳහා තමයි මේ රිලවුන් අවශ්‍ය වෙන්නේ. අපි හරියටම දන්නේ නෑ සත්වෝද්‍යාන සංඛ්‍යාව. මේ සම්බන්ධයෙන් තීරණ ගන්න වනජීවි අධ්යක්ෂ ජෙනරාල්, සත්වෝද්‍යාන අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් සමන්විත කමිටුවක් කැබිනට් පත්‍රිකාවක් හරහා පත් කරලා තියෙනවා. මේ වෙද්දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට තුනක් පවත්වලා තියෙන්නේ. අවසන් තීරණය ගනු ලබන්නේ එම කමිටුව විසින්..” අමාත්‍යවරයා පවසයි.
පළමු ඉදිරියේදී චීනය ඉල්ලා සිටින්නේ රිලවුන් 500ක් පමණක් බවත් එතරම් විශාල රිලවුන් සංඛ්‍යාවක් කෙටි කාලයකදී අල්ලා ගත නොහැකි බවත් ඔහු පැවසීය.
“රිලවුන් අල්ලා ගැනීම, ආරක්සා කිරීම හා චීනයට රැගෙන යාම කරනු ලබන්නේ චීනය විසින්.. රිලවුන් චීනයට යවන්න එපා උන්ව ගන්නේ ආහාරයට, පරීක්ෂණවලට කියලා විවිධ අය කෑ ගහනවා.. ඒ වගේම තමයි සමහරු කියනවා විද්‍යාත්මක විසඳුම් හෙව්වේ නෑ කියලා.. අපි ඒ අයට කිව්වා විසඳුම් අපිට ගේන්න කියලා.. එහෙම විසඳුම් තියෙනවා නම් අපි ඒවාට ඉඩ දෙනවා.. අහිංසක මිනිසුන් තමයි රිලවුන්ගෙන් බැට කන්නේ.. ප්‍රයෝජනවත් යෝජනාවක් කිසිම සංවිධානයකින් මෙතෙක් ඉදිරිපත් කළේ නැහැ… ඒ නිසා ජාත්‍යන්තර ක්‍රමවේද අනුව හොඳම විසඳුම තමයි අපි මේ විදියට ලබා ගත්තේ..”
අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා අදාළ වන අමාත්‍යංශවල නියෝජිතයින් සමඟ කමිටුවක් පත් කර ඇති බවත් රිලවුන් යැවීම සම්බන්ධයෙන් තීරණ ගන්නේ එම කමිටුවෙන් බවත් ඔහු පැහැදිලි කළේය.







