ඉන්දියාව හා භූතානය අතර ඇති කර ගත් දුම්රිය මාර්ග සම්බන්ධක ව්‍යාපෘතිය යටතේ ප්‍රථම වතාවට ඇසෑම් හා භූතානය සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයක් ඉදි කිරීමටත් අනතුරුව කොක්රාජාර් හා ජෙලෙෆු සම්බන්ධ කරමින් මෙම ව්‍යාපෘතීය ක්‍රියාත්මක කිරීමටත් දෙරට එකඟ වෙයි. භූතාන රජු වන ජිග්මේ ඛේසර් නම්ග්යෙල් වන්ග්චුක් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි අතර පැවැති ද්විපාර්ශවික හමුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
ඔවුන් අතර පැවැති සාකච්ඡාවේ දී ඩොක්ලම් ගැටළුව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ බවත් එම සාකච්ඡාව උණුසුම් හා ඵලදායී එකක් වූ බවත් භූතාන මාධ්‍ය වාර්තා කරයි.
භූතානය සමඟ ඉන්දියාවේ සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා පුළුල්, කරුණු පහේ සිතියමක් ඉදිරිපත් කර ඇත. එහිදී ඩොක්ලාම් ගැටළුව විශේෂයෙන් සඳහන් කර නැතත්, එය තවමත් ඉන්දියාවේ උපායමාර්ගික අවශ්‍යතා සඳහා තීරණාත්මක ක්ෂේත්රයක් බව පැහැදිලි යැයි ‘ඒඑන්අයි’ පුවත් සේවය සඳහන් කරයි.
මෙම කරුණු පහේ සැලැස්ම යටතට වෙළෙඳාම් සම්බන්ධතා සහ අයෝජන වැනි විවිධ ක්ෂේත්රවල සහයෝගීතාවය, තිරසාර වෙළෙඳ පහසුකම් සැලසීමේ පියවර, අභ්‍යාවකාශ ගමන් වැනි නැගී එන කර්මාන්තවල දියුණුව වැනි කාරණා අයත් වේ.
භූතානයේ ඉල්ලීම පරිදි අතිරේක පොරොත්තු ණය පහසුකමක් ලබා දීමට සහ මීළඟ 13 වැනි, පස් අවුරුදු සැලැස්ම සඳහා සහාය වැඩි කිරීමට ද ඉන්දියාව මෙම හමුවේදී එකඟ වී තිබේ.







