විමුක්ති එස්. රුද්‍රිගු
මෙරට පවුල්වලින් සියයට 48ක් එදිනෙදා කෑම වේල පිරිමසා ගැනීම සඳහා මූල්‍ය ආයතනයකින් හෝ ණය දෙන්නෙකුගෙන් වැඩි පොලියට ණය ලබාගෙන ඇති බවත්, එසේත් නැතිනම් ඔවුන් සතුව තිබූ රන් ආභරණ උකස් කර මුදල් සොයාගෙන ඇති බවත් ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 43ක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වියදම් කරන මුදල් ප්‍රමාණය අවම කර එම මුදල් ආහාර මිලදී ගැනීම සඳහා යොදවා ඇති බවත්, පවුල්වනිල් සියයට 35ක් ඔවුන් ඉතිරි කරන මුදල් හෝ ගෙවීමට ඇති ණය පැහැර හැරීමෙන් ඉතිරි කරගන්නා මුදල් ආහාර මිලදී ගැනීම සඳහා යොදවා ඇති බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත.
ජනවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය වැඩිම පළාත ඌව පළාත බවත් ඉකුත් දෙසැම්බර් මාස සියයට 43ක් වූ ඌව පලාතේ ආහාර අනාරක්ෂිතතාවය ජනවාරි මස අවසන් වන විට සියයට 47දක්වා වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාවය දෙසැම්බර මසට සාපේක්ෂව ජනවාරි මාසයේ දී සියයට 10කින් අඩු වී ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව අඩුම පළාත ලෙස බස්නාහිර පළාත පත්ව ඇතැයි ද ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් පෙන්වා දෙයි
ජනවාරි මාසයේ දී බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාවය සියයට 23ක් ලෙස පැවති බව ද එම වාර්තාවේ දැක්වේ.
ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාව ඉකුත් පෙබරවාරි 28 දා නිකුත් කරනු ලැබීය.
ලංකාදීප –







