සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැති දෙවැනි 20/20 තරඟයෙන් ළකුණු 16 කින් ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ ඉන්දීය කන්ඩායම පළුමවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර කඩුළු 6ක් දැවී ළකුණු 206ක් රැස් කිරීමට ශ්‍රීලංකාව සමත් විය. එහිදී අනගි ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 20කදී ළකුණු 56ක් රැස් කිරීමට සමත් විය. ප්‍රථමයෙන් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක පන්දු 54කට ළකුණු 80ක සබඳතාවයක් ගොඩ නගා ගත්තේය. කුසල් මෙන්ඩිස් පන්දු 31කදී ළකුනු 52ක් රැස් කළ අතර පැතුම් නිශ්ශංක ළකුණු 33ක් රැස් කර ගැනීමට සමත් විය. මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වුවත් චාමික කරුණාරත්න හා ළකුණු 68ක සබඳතාවයක් ගොඩ නගාගනිමින් ළකුණු 206ක් දක්වා ගමන් කිරීමට දසුන් ශානක සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුළු 8ක් දැවී ළකුණු 190ක් රැස් කර ගත්තේය. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් මුල් පන්දුවවාර 6 ඇතුළතදී ඉන්දීය පිතිකරුවන් 5 දෙනෙකු දවා ගත්තත් පිටියට පිවිස අක්ෂාර් පටෙල් හා සූර්යකුමාර් යාදෙව් පන්දු 40කදී ලකුණු 90ක සබඳතාවයක් ගොඩ නගා ගත්හ. පටෙල් පන්දු 30 දී ළකුනු 65ක් ද, යාදව් ළකුණු 51ක් ද රැස් කළහ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක, කසුන් රාජිත හා මදුෂංක කඩුළු 2ක් බැගින් දවා ගත්හ. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් උමාරන් කඩුළු 3ක් ද අක්ෂාර් පටෙල් කඩුළු 2ක් ද දවා ගත්හ.







