ශ්‍රියානි විජේසිංහ –
යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇත .
මේ අතර දෙස් විදෙස් සංචාරකයින් මෙම දිනවල යාල වනෝද්‍යානය නැරඹීමට බහුල වශයෙන් පැමිණෙන බැවින් සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් වහාම අරඹන ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට දැනුම් දී ඇත .
අලුතින් ඉදි කරන ලද සංචාරක බංගලා දෙකක වැඩ කටයුතු මේ වනවිට අවසන්ව ඇති බැවින් ඒවා සංචාරකයින් සඳහා ලබා දීම මෙන්ම මධ්‍යාහ්න 12 සිට පස්වරු 02 දක්වා පැය දෙකක කාලයක් වනාන්තරයේ සංචාරය කිරීම අත්හිටුවන බැවින් එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ඉදි කෙරෙන විවේක ස්ථානයේ ඉදි කිරීම් වහා අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී ඇත.







