කීර්ති ප්‍රනාන්දු
මස් අලෙවි සැල් වලින් මේ දිනවල මස් මිලදී ගැනීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමත මුද්‍රාව සහිත මස් මිලදී ගැනීමට සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි .
මස් මිලදී ගැනීමේදී ප්‍රාදේශීය සභාවේ අනුමත මස් වෙළඳසැල් වලින් පමණක් මස් මිලදී ගැනීමට උනන්දු වන ලෙසත් මස් ගාත කොටසේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමත මස් යන මුද්‍රාව තිබේදැයි පරික්ෂා කර බලන ලෙසත් උපුල් රෝහණ පවසයි .
මේ වන විට දිවයින පුරා මස් අලෙවිසල් පරීක්ෂා කිරීම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති බව පවසන සභාපතිවරයා ඉකුත් දිනවල පුත්තලම සහ කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මස් වෙළඳසැල් වල තිබී සැකකටයුතු මස් අත්අඩංගුවට ගත් බවත් එම මස් වෙලඳසල්වලට රැගෙන පැමිණි ආකාරය පිළිබඳව තහවුරු කිරීමට එම වෙළඳුන් අසමත් වීම නිසා එම මස් අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් ඔහු පැවසීය .
එබැවින් මේ දිනවල විශ්වාසය තහවුරු කරගත නොහැකි කිසිදු ස්ථානයකින් මස් මිලදී ගැනීම් නොකරන ලෙස ඔහු පාරිභෝගික ජනතාවට දැනුම් දී සිටී .
ඒ අතර උත්සව සමය ඉලක්ක කර ගනිමින් මෙම මස 01දින සිට 30 වන දින දක්වා ආහාර පරිහරන ආයතන හා වෙළඳසැල් පරීක්ෂා කරමින් පරිභෝජනයට නුසුදුසු හා සෞඛ්‍යයට අහිතකර ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වැටලීම් කරමින් එම ආහාර අලෙවි කරන්නන් හට නීතිමය පියවර ගැනීම සදහා වන වැටලීම් දියත් වී ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.







