රට තුළ ඇතිවී තෙබෙන තත්ත්වය පාවිච්චි කර අනවශ්‍ය බිය වැද්දීම් සහ දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ නොකරන ලෙස සමහර දේශපානඥයින් විශේෂයෙන්ම අවධාරණය කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමති විජිත හේරත් අද (24) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා දන්වා සිටියේය.
මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බවත් වග කිවයුතු රජයක් ලෙස ගත යුතු ගත හැකි සෑම ආරක්ෂක පියවරක්ම දේශීය වශයෙන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකවත් ලබාගෙන ඇති බවත් අවධාරණය කළ ඇමතිවරයා රට තුළ සෑම විදේශිකයකේම ආරක්ෂිත බව ප්‍රකාශ කළේ රට තුළ ජාතික වශයෙන් අර්බුදයක් ඇති කිරීම සඳහා කඩාකප්පල්කාරී කටයුත්තකට සම්බන්ධ කිසිම තොරතුරක් වාර්තා වී නැති බව සහතිකකරමිනි.
කිසිම බියක් සැකක් ඇති කරගන්න එපා. අපේ රටට එන්න… ඇමතිවරයා විදේශික සංචාරකයින්ගෙන් වගකීමකින් යුතුව ප්‍රකාශ කළේය.
ඇමතිවරයා කළ කතාව මෙසේය.
යම් යම් තොරතුරු අනාවරණය වුනා ආරක්ෂාවට බාධා ඇති වේවි කියලා. තොරතුරු බුද්ධි අංශවලට ලැබුණා. රජය වහාම ක්‍රියාත්මක වුනා. මේ රජය බලයට පත් වෙලා අදට මාසයයි. අවස්ථා කීපයක් ආරක්ෂ මණ්ඩලය රැස් වුනා. පළමු දෙවැනි ආරක්ෂක කවුන්සිල රැස්වීමට මේ තොරතුරු වාර්තා කළා
එම තොරතුරු ලැබුණ වහාම අපි අරුගම්බේ, බණ්ඩාරවල ඇල්ල, මාතර වැලිගම, ඒ වගේම අහුන්ගල්ල වැනි වෙරළ තීරවල, සංචාරකයින් ගැවසෙන ස්ථානවල විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදුවා. මේ මාසේ මුල ඉඳලම ඒ ආරක්ෂක වැඩ පිළිවෙළ සකස් කළා. විශේෂයෙන්ම ආරක්ෂක මණඩලය තුළ ඒ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළා.
ඒ වගේම බුද්ධි අංශත් පොලිසියත් මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. තොරතුරු මත පදනම් මේ වනවිට තුන් දෙනෙක් අත් අඩංගුවට අරන් තියනවා. මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා. මේ අය දැනුම්වත්ව හෝ නොදැනුවත්ව යම් කිසි කැළඹිළි තත්ත්වයක් ඇති කරන්න සම්බන්ධයක් ද කියලා සොයා බලනවා. ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ ලබා ගත්ත තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කරගෙන යනවා.
ඒ අතර පොලිසිය පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග පොලිසිය පැත්තෙන් අරන් තියනවා.
ඉන්දියානු බුද්ධි තොරතුර ලැබුනේ පෙරේදා
මීට දිනයකට පෙර ඒ කියන්නේ පෙරේදා හවස් වනවිට විදේශ බුද්ධි අංශ මගින් ලැබුණ තොරතුරු එක්ක පෙරේදා රාත්‍රියේම ජනාධිපති තුමා, පොලිස්පති තුමා, ආරක්ෂක ලේකම් තුමා, අගමැති තුමිය , මම ඇතුළු කීප දෙනාම විමර්ශන කරන උසස් නිලධාරීන් සහ ආරක්ෂක ප්‍රධානීන් එක්ක සාකච්ඡා කළා. පෙරේදා රාත්‍රියේම තවත් ආරක්ෂක පියවර ශක්තිමත් කළා.
විශේෂ කණ්ඩායම් යෙදෙව්වා. සිවිල් කණ්ඩායම් යෙදෙව්වා. මාර්ග බාධක දැම්මා. පරීක්ෂා කිරීම් වැඩි කළා.
ඒ එක්කම ඊයෙ උදේම, උදේ 7ට, ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳෙව්වා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගමැති තුමියත් මමත් ආරක්ෂක ප්‍රධානීනුත් සම්බන්ධ වෙච්චි විශේෂ ආරක්ෂක කවුන්සිලයක් කැඳෙව්වා. ඒ ආරක්ෂක කවුන්සිලයෙනුත් තීන්දු තීරණ ගණනාවක් ගත්තා.
ත්‍රිවිධ හමුදාවත් මේ ආරක්ෂක කටයුතු සදහා යොදා ගන්න අපි මුල සිටම පියවර ගත්තා. මේ තොරතුරු අනාවරණය වීමත් සමග ත්‍රවිධ හමුදාවත් අපි විවිධ ප්‍රදේශවලට ආරක්ෂාව සඳහා යෙදෙව්වා.
ඊශ්‍රයාල ජාතිකයන් පිළිබඳ විශේෂ තත්ත්වය
මෙතන විශේෂ තත්ත්වයක් මතුවුනේ ඊශ්‍රයාල ජාතිකයන් ලංකාවේ ඉන්නවා. මේ මාසය කියන්නේ මැදපෙරදි යුද වාතාවරණය ඇතිවෙලා අවුරුද්දක් පිරෙන මාසයක්. ඒ වගේම ඊශ්‍රයාල ජාතිකයන් තමන්ගේ යම් යම් ආගමික උත්සව පවත්වන කාලයක්. සංචාරය සඳහා පැමිණි අයත්, කාලයක් තිස්සේ ලංකාවේ ඉන්න සුළු ප්‍රමාණයකුත් ඉන්නව. ඒ අයගෙ කට්ටිය යම් යම් තැන්වලට ඒකරාශී වෙනවා ආගමික කටයුතු වලට.
ඔක්තොම්බර් මාසෙ අවසන් දින කීපය තුළ තමයි ඊශ්‍රයාල ජාතිකයින් ඒ ආගමික කටයුතු කරන්නේ. ඒ සඳහා ඔවුන් තෝරගත්ත ස්ථාන කීපයක් තියනවා. ඒ තැන්වලට ඒ අය එකතු වෙනවා. එකතු වෙලා ඒ චාරිත්‍ර අනුගමනය කරමින් ආගමික උත්සව තියනවා. ඒ තැන්වලට ප්‍රහාරයක් එල්ල කරලා යම් කැළඹිලිකාරී තත්ත්වයන් ඇති කරනවා කියලා තමයි අපට යම් තොරතුරක් ලැබුනේ. ඒ සැකයත් එක්ක තමයි අපි ක්‍රියාමාර්ග ගත්තේ.
සියලුම පියවර අරන් ඉවරයි…කිසිම දේකට බිය වන්න එපා
මේ වනවිට මේ රටේ විදේශ සංචාරකයින් පිළිබඳ ගත යුතු සෑම ආරක්ෂක පියවරක්ම ශක්තිමත්ව අරන් තියනවා. ඒ නිසා කිසිදු ආකාරයක චකිතයක් ඇති කරගත යුතු නෑ. නිදහසේ ලංකාව තුළ සංචාරක කටයුතු කරන්න පුලුවන් කියලා වගකීමකින් කියනවා.
ජාතික වශයෙන් මේ රටේ පුරවැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කර කැළඹිලිකාරී තත්ත්වයක් ඇති කිරීමක් සම්බන්ධව අපට ලැබුන තොරතුරුවල වාර්තා වුනේ නෑ. ඒ නිසා එවැනි තත්ත්වයක් මත අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ
අපි රාජ්‍ය තාන්ත්‍රික වශයෙනුත් මේ ගැන සාකච්ඡා කළා. ඇමරිකානු තානාපතිනිය මගින් අප සාකච්ඡා කළා. ඒ වගේම යම් යම් තානාපතිවරුන් සමග තොරතුරු හුවමාරු කරගත්තා. ඒ කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙනුත් කළ යුතු දේ කරලා තියෙන්නේ.
කල් තියා ජනතාව දැනුම්වත් නොකළේ ඇයි?
ඇත්තටම ගත්තොත් මෙවැනි තත්ත්වයක් ඇතිවෙනවා කියලා කල් ඇතිව ජනතාවට දැනුම්වත් කළේ නෑ. ලැබෙන තොරතුරු විශ්වාසනීය පැහැදිලි තොරතුරු වෙන්න ඕන ඒ ගැන ජනතාවට කියන්න. අපි ආරක්ෂක පියවරයන් අරන් තිබුණේ. එහෙම ආරක්ෂක පියවර අරන් නැතිව ප්‍රමාද වුනා නම් තමයි ප්රශ්නය තියෙන්නේ. දිවා රාත්‍රි සාකච්ඡා වට ගණනාවක් තියලා තියනවා. පරීක්ෂණ කරලා තියනවා. ගත යුතු ආරක්ෂක පියවර අරන් තියනවා.
මේ අත්අඩංගුවට ගැනිම් ඊයේ දිනයට පෙර සිද්ද වෙන දේවල්. ඒ පරීක්ෂණ කටයුතු කරගෙන ගිහින් තියනවා. රජයක් විදිහටත් පොලිසිය විදිහටත්, ආරක්ෂක අංශ විදිහටත් විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ගත යුතු සියලු ක්‍රියාමාර්ගයක්ම අරන් තියනවා.
කිසිම ආකාරයක බිය විමක් අවශ්‍ය නෑ. අපේ හෝටල් හා සංචාරක ආයතන පවත්වාගෙන යන ආයතනවලටත් අප දැනුම් දීලා තියනවා ඒ හෝටල්වල ආරක්ෂාව ගැන පරීක්ෂා කිරීම් කරන්න කියලා. ඒ වගේම ජනතාවට අපි කියලා තියනවා යම් කිසි තොරතුරක් වාර්තා වෙනවා නම් හදිසි ඇමතුම් ලබා දෙන්න කියලා
දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා
මේ තත්ත්වය පාවිච්චි කරලා අනවශ්‍ය බිය වැද්දීම් දේශපාලනවාසි ලබා ගන්න උත්සාහ කරන්න එපා. විශේෂයෙන්ම සමහර දේශපානඥයින්ටත් ඒක අවධාරණය කරනවා. මොකද අපි වගකිවයුතු රජයක් විදිහට ගත යුතු ගත හැකි සෑම ආරක්ෂක පියවරක්ම අරගෙන තියනවා.
ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා විවිධ කටකතාවලට රැවටෙන්න එපා. මේ තත්ත්වය වැඩි කරලා අර්බුදයක් ඇතිකරන තැනට යන්න එපා. කෙටි දින කීපයක් ඇතුලේ අපි මෙය යථා තත්ත්වයට පත් කරනවා.
දැනට ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙක් රටවල්වලින් ලබා දී ඇති අවවාදාත්මක පණිවිඩයන් ඉවත් කරගන්න පුලුවන්. ඒ අය දැනටමත් සෑහීමකට පත් වෙලා තියනවා අප ගත්තු ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ අයගෙ පැත්තෙන් විශ්වාසයක් ඇතිවෙලා තියනවා තමන්ගේ රටේ පුරවැසියන් අපේ රට තුළ සංචාරක කටයුතු සඳහා එවන්න.
ඒ වගේම සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් නෑ. පෙරේදා දිනයේත් ඊශ්‍රයාල ජාතිකයින් ලංකාවට පැමිණිලා තිබුණා. පැමිණිලා ඉන්න අය තමන්ගේ සංචාරක කටයුතු ඉතාම නිදහස්ව කරගෙන යනවා. ඒවට බාධාවක් වෙලා නෑ.





