කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු, ක්‍රිෂාන්ත පුලතිස් මාරපන අත් පා ගැට ගසා ගෙල සිරකර නිදි යහනේදීම ඝාතනය කර තිබියදී පොලිසිය විසින් ඊයේ (28) පෙරවරුවේ සොයාගෙන තිබේ.
කෑගල්ල හෙට්ටිමුල්ලේ පිහිටි බුළුරුප්ප වලව්වේ හිමිකාරිත්ව දැරූ ක්‍රිෂාන්ත පුලතිස් මාරපන වලව්වේ 11 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස මෙම දේපල භුක්ති විඳමින් සිට ඇත.

ඝාතනය වන විට 75 හැවිරිදි වියේ පසුවූ ඔහු කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය, කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය, යන පාසල්වල ගණිත ගුරුවරයෙක් ලෙස සේවය කළ විශ්‍රාමික ගුරුවරයෙකි.
එමෙන්ම ගරු සේවයක් ලෙස වැටුපක් නොලබා කෑගල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් ලෙස පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහජන සේවය කළ ජනතා නියෝජිතයෙකි.
ක්‍රිෂාන්ත පුලතිස් මාරපන දෙදරු පියෙක්වන අතර ඔහුගේ දියණිය මින් පෙර අකාලයේ මිය ගොස් ඇති අතර එකම පුතා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව පොලිසිය පවසයි.
නිවසේ ජීවත් සිට ඇත්තේ ඔහු සහ ඔහුගේ බිරිය පමණි. වයෝවෘද්ධ බිරිය ද එක්තැන් වී සිට ඇත. අසල්වැසියෙකු වන මහගම ආරච්චිගේ තිලකරත්න නමැත්තෙකු කලක සිට එම නිවසේ රාජකාරි කටයුතු මෙන් ම මුර කටයුතු ද සිදු කරමින් සිට තිබේ. ඔහු දින කිහිපයකට ඉහතදී වලව්වේ කුඹුරුවලට බිත්තර වී රැගෙන ඒමට පොළොන්නරුව ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය පැවසීය.
ඊයේ පෙරවරු 7:30ට පමණ ආණමඩුව ප්‍රදේශයේ ලොරි රථයක් වී මිලට ගැනීමට කෙම්පිටිය වලව්වට පැමිණීම නිසා පෙරවරු 8ට පමණ නිවසේ රාජකාරි කටයුතු කරන මුරකරුගේ පිරිමි දරුවා ද වලව්වට පැමිණ නිවැසි යුවළට කතා කොට තිබේ.
ශබ්දයක් නොමැති තැන ඇර දමා තිබුණු වලව්වේ ප්‍රධාන ෙදාරටුවෙන් ඇතුළතට ගොස් බලන අවස්ථාවේදී එක් ඇඳක ගෙහිමියාගේ කටේ ප්ලාස්ටර් ගසා අත් දෙක බැඳ ඇඳ සිටි සරම ගලවා ගෙල සිර කර ඇති අයුරුත් එක්තැන්ව සිටි ගෙහිමි කාන්තාවගේ මුවට ප්ලාස්ටර් දමා ඇයට පහර දී ඇය බිමට ඇද දමා ඇති අයුරුත් දැක තිබේ. අනතුරුව සිද්ධිය පිළිබඳව නිවැසියන්ගේ ඥාති මිත්‍රයන්ටත් පොලිසියටත් දැනුම් දීමට ගම්වැසියන් කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
පසුව පොලිස් කණ්ඩායමක් නිවසට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කිරීමේදී අනාවරණය වී ඇත්තේ, යම් පිරිසක් හෝ පුද්ගලයෙක් නිවසට පැමිණ විදුලි මීටරය විසන්ධි කර නිවසට රිංගා නිවස ඇතුළත බඩු මුට්ටු පෙරළා දේපොළ සොයා ඇති බවය.
පසුව වයෝවෘද්ධ යුවළ සිටි කාමරයට ගොස් ගෙහිමියාගේ අත් දෙක ගැට ගසා කටට ප්ලාස්ටර් ගසා ඇඳ සිටි සරම ගලවා ගෙල සිර කර ඝාතනය කොට ඇති බව ත් එක්තැන්ව සිටි වයෝවෘද්ධ කාන්තාවගේ කටට ප්ලාස්ටර් ගසා පහර දී කාමරයේ දමා නිවසේ සවි කර තිබුණු සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ රෙකෝඩරයත් රැගෙන නිවසේ පිටත තිබුණු නිවැසියන්ගේ මෝටර් රථය රැගෙන පළා ගොස් ඇති බව ත් පොලිසිය පැවසීය.
නිවසේ එක්තැන්ව සිටි වයෝවෘද්ධ කාන්තාව පසුව ඥාතීන් විසින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සිදු කෙරිණි.
මෝටර් රථය කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ පිංදෙණිය පොලිස් වසමේ දමා ගොස් තිබියදී පිංදෙණිය පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන තිබුණු බව කෑගල්ල පොලිසිය පැවසීය.
පසුව කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර සහ අධිකරණ වෛද්‍ය නිලධාරිනී නිරංජලා කුලතුංග ද අදාළ නිවසට ගොස් දේහය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද සිදු කෙරිණි.
ඝාතනය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් මැල්කම් මචාඩෝ අදාළ නිවසට ගොස් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේ ය.
දේහය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර වෙත භාර දී පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණි. සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.







